අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.5.1. අවජානාති සුත්තං

5.3.5.1. හෙලාදැකීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනා ලෝකයෙහි දකින්නට ලැබෙති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

යමෙකුට යමක් දුන් පසු හෙලා දකින්නේ ය. එකට වාසය කොට හෙලා දකින්නේ ය. වහා ගන්නා දොරටු ඇත්තේ වෙයි. අස්ථිර බවින් යුක්ත වූයේ වෙයි. නොවැටහෙන නුවණ රහිතයෙක් වෙයි.

මහණෙනි, පුද්ගලයෙක් දී හෙලා දකින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පුද්ගලයෙකුට චීවර, පිණ්ඩපාත, සෙනසුන්, බෙහෙත් පිරිකර ආදිය දෙන්නේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘මම දෙමි. මොහු පිළිගනියි’ කියමින් ඒ පුද්ගලයාට දී හෙළා දකියි. මෙසේ මහණෙනි, පුද්ගලයා දී අවමන් කරයි.

මහණෙනි, පුද්ගලයෙක් එකට වාසය කොට හෙලා දකින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් තව පුද්ගලයෙකු සමඟ දෙතුන් වසරක් හෝ එකට වාසය කරයි. එසේ එකට වාසය කොට ඔහු පිළිබඳ කරුණු කියමින් හෙලා දකියි. මහණෙනි, මෙසේ පුද්ගලයා එකට වාසය කොට හෙලා දකියි.

මහණෙනි, පුද්ගලයෙක් වහා ගන්නා දොරටු ඇත්තේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අන්‍යයන්ගේ ගුණයක් හෝ අගුණයක් හෝ කියන කල්හී එය වහා ම සොයා නොබලා පිළිගන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා වහා ගන්නා දොරටු ඇත්තේ වෙයි.

මහණෙනි, පුද්ගලයෙක් අස්ථිර බවින් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ස්වල්ප වූ ශ්‍රද්ධා ඇත්තේ වෙයි. ස්වල්ප භක්ති ඇත්තේ වෙයි. ස්වල්ප ප්‍රේම ඇත්තේ වෙයි. ස්වල්ප ප්‍රසාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා අස්ථිර බවින් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, පුද්ගලයෙක් නොවැටහෙන්නේ නුවණ රහිත වූයේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් කුසලාකුසල ධර්මයන් නොදනියි. හරි වැරදි දේ නොදනියි. උසස් පහත් දේ නොදනියි. පින් පව් ආදියෙහි එකිනෙකට විරුද්ධ ව ඇති කරුණ නොදනියි. මහණෙනි, මෙසේ පුද්ගලයා නොවැටහෙන්නේ නුවණ රහිතයෙක් වෙයි.

මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනා ලෝකයෙහි දකින්නට ලැබෙති.

සාදු! සාදු!! සාදු!!!

අවජානාති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M