අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.3. දූපට්ඨාකගිලාන සුත්තං

5.3.3.3. උපස්ථානයට දුෂ්කර ගිලනා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ගිලනා උපස්ථානයට දුෂ්කර වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

රෝගයට හිත නොවූ දේ කරන්නේ වෙයි. හිත වූ දෙයෙහි පමණ නොදන්නේ වෙයි. බෙහෙත් පාවිච්චි නොකරන්නේ වෙයි. යහපත කැමති වූ ගිලානෝපස්ථායකයා හට ‘වැඩෙන රෝගය වැඩෙන බව හෝ සංසිඳෙන රෝගය සංසිඳෙන බව හෝ’ වශයෙන් රෝගයෙහි සැබෑ වූ ස්වභාවය නොපවසන්නේ වෙයි. උපන්නා වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ මාරාන්තික වූ ශාරීරික දුක්ඛ වේදනාවන් නොඉවසන සුළු වූයේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ගිලනා උපස්ථානයට දුෂ්කර වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ගිලනා උපස්ථානයට පහසු වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

රෝගයට හිත වූ දේ කරන්නේ වෙයි. හිත වූ දෙයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙත් පාවිච්චි කරන්නේ වෙයි. යහපත කැමති වූ ගිලානෝපස්ථායකයා හට ‘වැඩෙන රෝගය වැඩෙන බව හෝ සංසිඳෙන රෝගය සංසිඳෙන බව හෝ’ වශයෙන් රෝගයෙහි සැබෑ වූ ස්වභාවය පවසන්නේ වෙයි. උපන්නා වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ මාරාන්තික වූ ශාරීරික දුක්ඛ වේදනාවන් ඉවසන සුළු වූයේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ගිලනා උපස්ථානයට පහසු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දූපට්ඨාකගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M