එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි අන්ධකවින්දයෙහි වැඩවාසය කරන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ආනන්දයෙනි, යම් ඒ භික්ෂූහු නවක වූ පැවිදි ව වැඩි කලක් නොවූ මේ ධර්ම විනයට අළුතින් පමිණියාහු වෙත් ද, ආනන්දයෙනි, ඔබ විසින් ඒ භික්ෂූහු පංච ධර්මයක් තුළ සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. ඒ කවර ධර්මයන් පසක් ද යත්;
‘ආයුෂ්මත්නි, එව්. ඔබ (1). සිල්වත් වව්. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වව්. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසව්. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙව්.’ මෙසේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙහි සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
‘ආයුෂ්මත්නි, එව්. ඔබ (2). ඉන්ද්‍රියයන්හි වසාගත් දොරටු ඇති ව වාසය කරව්. සිහිය නමැති ආරක්ෂාවෙන් යුක්ත ව ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු සිහියෙන් යුක්ත ව රැකගත් සිතින් යුක්ත ව සිහිය නම් වූ රැකවරණ සහිත සිතින් යුක්ත ව වාසය කරව්.’ මෙසේ ඉන්ද්‍රිය සංවරයෙහි සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
‘ආයුෂ්මත්නි, එව්. ඔබ (3). ස්වල්ප කථාවෙන් යුක්ත වව්. සීමාවක් ඇති ව කතා කරව්.’ මෙසේ සීමාවක් ඇති කථාවෙහි සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
‘ආයුෂ්මත්නි, එව්. ඔබ (4). අරණ්‍යවාසී ව වාසය කරව්. අරණ්‍ය, වනපෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරව්.’ මෙසේ කාය විවේකයෙහි සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
‘ආයුෂ්මත්නි, එව්. ඔබ (5). සම්මා දිට්ඨියෙන් යුක්ත වව්. නිවැරදි දැක්මකින් යුක්ත වව්.’ මෙසේ නිවැරදි දැක්මෙහි සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
ආනන්දයෙනි, යම් ඒ භික්ෂූහු නවක වූ පැවිදි ව වැඩි කලක් නොවූ මේ ධර්ම විනයට අළුතින් පමිණියාහු වෙත් ද, ආනන්දය, ඔබ විසින් ඒ භික්ෂූහු මේ පංච ධර්මය තුළ සමාදන් කරවිය යුත්තාහු ය. යෙදවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
අන්ධකවින්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M