අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.6. ආනන්ද සුත්තං

5.3.1.6. අනඳ තෙරුන් හට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂුවක් සංඝයා අතර වාසය කරද්දී සුවසේ වාසය කරන්නේ කොපමණ කරුණු මත ද?”

“ආනන්දයෙනි, යම් කලක භික්ෂුව තමා ත් සීල සම්පන්න වූයේ වෙයි ද, අනුන්ගේ අධිසීලයෙහිලා උපවාද නොකරන්නේ වෙයි ද, ආනන්දයෙනි, මෙපමණකිනුත් සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ ය.”

“ස්වාමීනී, සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ යම් සේ ද, එබඳු ම අන්‍ය වූ කරුණකුත් තිබෙන්නේ ද?”

“තිබෙන්නේ ය, ආනන්දයෙනි. යම් කලක භික්ෂුව තමා ත් සීල සම්පන්න වූයේ වෙයි ද, අනුන්ගේ අධිසීලයෙහිලා උපවාද නොකරන්නේ වෙයි ද, තමාගේ කටයුතු දක්නා සුළු වෙයි ද, අනුන් කළ නොකළ දෑ නොදකින්නේ වෙයි ද, ආනන්දයෙනි, මෙපමණකිනුත් සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ ය.”

“ස්වාමීනී, සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ යම් සේ ද, එබඳු ම අන්‍ය වූ කරුණකුත් තිබෙන්නේ ද?”

“තිබෙන්නේ ය, ආනන්දයෙනි. යම් කලක භික්ෂුව තමා ත් සීල සම්පන්න වූයේ වෙයි ද, අනුන්ගේ අධිසීලයෙහිලා උපවාද නොකරන්නේ වෙයි ද, තමාගේ කටයුතු දක්නා සුළු වෙයි ද, අනුන් කළ නොකළ දෑ නොදකින්නේ වෙයි ද, අප්‍රකට ව සිටින්නේ වෙයි ද, ඒ අප්‍රසිද්ධභාවය හේතුවෙන් නොපසුතැවෙන්නේ වෙයි ද, ආනන්දයෙනි, මෙපමණකිනුත් සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ ය.”

“ස්වාමීනී, සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ යම් සේ ද, එබඳු ම අන්‍ය වූ කරුණකුත් තිබෙන්නේ ද?”

“තිබෙන්නේ ය, ආනන්දයෙනි. යම් කලක භික්ෂුව තමා ත් සීල සම්පන්න වූයේ වෙයි ද, අනුන්ගේ අධිසීලයෙහිලා උපවාද නොකරන්නේ වෙයි ද, තමාගේ කටයුතු දක්නා සුළු වෙයි ද, අනුන් කළ නොකළ දෑ නොදකින්නේ වෙයි ද, අප්‍රකට ව සිටින්නේ වෙයි ද, ඒ අප්‍රසිද්ධභාවය හේතුවෙන් නොපසුතැවෙන්නේ වෙයි ද, ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මේ ජීවිතයේ සැප සේ වාසය කිරීම නම් වූ සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ත්, පහසුවෙනුත්, බොහෝ සෙයිනුත් ලබන්නේ වෙයි ද, ආනන්දයෙනි, මෙපමණකිනුත් සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ ය.”

“ස්වාමීනී, සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ යම් සේ ද, එබඳු ම අන්‍ය වූ කරුණකුත් තිබෙන්නේ ද?”

“තිබෙන්නේ ය, ආනන්දයෙනි. යම් කලක භික්ෂුව තමා ත් සීල සම්පන්න වූයේ වෙයි ද, අනුන්ගේ අධිසීලයෙහිලා උපවාද නොකරන්නේ වෙයි ද, තමාගේ කටයුතු දක්නා සුළු වෙයි ද, අනුන් කළ නොකළ දෑ නොදකින්නේ වෙයි ද, අප්‍රකට ව සිටින්නේ වෙයි ද, ඒ අප්‍රසිද්ධභාවය හේතුවෙන් නොපසුතැවෙන්නේ වෙයි ද, ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මේ ජීවිතයේ සැප සේ වාසය කිරීම නම් වූ සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ත්, පහසුවෙනුත්, බොහෝ සෙයිනුත් ලබන්නේ වෙයි ද, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි. ආනන්දයෙනි, මෙපමණකිනුත් සංඝයා අතර වාසය කරන භික්ෂුව සුවසේ වසන්නේ ය.

ආනන්දයෙනි, මේ ආශ්‍රවයන් ක්ෂය වීම නම් වූ පහසුවෙන් වාසය කිරීමට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ පහසුවෙන් වාසය කිරීමක් නැතැයි කියමි.”

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M