අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.5.9. සීහ සුත්තං

5.2.5.9. සිංහයා උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මෘගරාජ වූ සිංහ තෙමේ සවස් වරුවෙහි ලැග සිටි තැනින් කලඑළි බසියි. එසේ ලැග සිටි තැනින් නික්ම අවුත් කෙසරු සළා ඇඟ සොළවයි. කෙසරු සළා ඇඟ සොළොවා හාත්පස සිව් දිශාව බලයි. හාත්පස සිව් දිශාව බලා තෙවිටක් සිංහනාද කරයි. එසේ තුන් යලක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්ම යයි.

ඉදින් හේ ඇතෙකුට හෝ පහර දෙයි නම් සකස් කොට ම පහර දෙයි. නොසකස් කොට නොවෙයි. මී ගවයෙකුට හෝ පහර දෙයි නම් සකස් කොට ම පහර දෙයි. නොසකස් කොට නොවෙයි. ගවයෙකුට හෝ පහර දෙයි නම් සකස් කොට ම පහර දෙයි. නොසකස් කොට නොවෙයි. දිවියෙකුට හෝ පහර දෙයි නම් සකස් කොට ම පහර දෙයි. නොසකස් කොට නොවෙයි. කුඩා වූ සතෙකුට හෝ පහර දෙයි නම්, යටත් පිරිසෙයින් සාවෙකු බළලෙකුට හෝ පහර දෙයි නම් සකස් කොට ම පහර දෙයි. නොසකස් කොට නොවෙයි. මක් නිසාද යත්, මා අභ්‍යාස කළ දඩයම් මාර්ගය නොනැසේවා යි.

මහණෙනි, සිංහයා යනු තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ට පවසන නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ යම් පිරිස් අතර ධර්ම දේශනා කරත් නම්, එය තථාගතයන්ගේ සිංහනාදය වෙයි.

මහණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ භික්ෂූන් හට ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ සකස් කොට ම ධර්මය දේශනා කරති. නොසකස් කොට නොවෙයි.

මහණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ භික්ෂුණීන් හට ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ සකස් කොට ම ධර්මය දේශනා කරති. නොසකස් කොට නොවෙයි.

මහණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ උපාසකයන් හට ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ සකස් කොට ම ධර්මය දේශනා කරති. නොසකස් කොට නොවෙයි.

මහණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ උපාසිකාවන් හට ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ සකස් කොට ම ධර්මය දේශනා කරති. නොසකස් කොට නොවෙයි.

මහණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ පෘථග්ජනයන් හට ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ යටත් පිරිසෙයින් තණ කපාගෙන එන්නවුන්, කුරුළු වැද්දන් ආදීන්ට ද ධර්මය දේශනා කරත් නම් තථාගතයාණෝ සකස් කොට ම ධර්මය දේශනා කරති. නොසකස් කොට නොවෙයි.

එයට හේතුව කුමක් ද?

මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මය ගුරු කොට ධර්ම ගෞරවයෙන් යුතු වෙති.

සාදු! සාදු!! සාදු!!!

සීහ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M