මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙමේ කළුරිය කොට වැඩි කලක් නොවූයේ එක්තරා මනෝමය දෙව්ලොවක උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ ආත්මභාවයක් ලැබී තිබුණේ ය. එනම් සුවිශාල මගධ කෙත් යායෙහි ගමකට අයත් සුවිසල් කුඹුරු යායවල් දෙක තුනක් යම් පමණ වූයේ ද හේ එබඳු ප්‍රමාණයේ ආත්මභාවයක් ලැබුවේ තමාට හෝ අනුන්ට හෝ පීඩාවක් නොකරයි.
එකල්හී කකුධ දිව්‍යපුත්‍ර තෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි කකුධ දිව්‍යපුත්‍ර තෙමේ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, දේවදත්තට මෙබඳු වූ ආශාවක් උපන්නේ ය. එනම් ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි. ස්වාමීනී, දේවදත්තයා ඒ සිත ඉපදවීම ත් සමඟ ම ඔහුගේ ඉර්ධියෙන් පිරිහී ගියේ ය.”
කකුධ දිව්‍යපුත්‍ර තෙමේ මෙය පැවසුවේ ය. මෙය පවසා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙමේ කළුරිය කොට වැඩි කලක් නොවූයේ එක්තරා මනෝමය දෙව්ලොවක උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ ආත්මභාවයක් ලැබී තිබුණේ ය. එනම් සුවිශාල මගධ කෙත් යායෙහි ගමකට අයත් සුවිසල් කුඹුරු යායවල් දෙක තුනක් යම් පමණ වූයේ ද, හේ එබඳු ප්‍රමාණයේ ආත්මභාවයක් ලැබුවේ තමාට හෝ අනුන්ට හෝ පීඩාවක් නොකරයි.
එකල්හී ස්වාමීනී, කකුධ දිව්‍යපුත්‍ර තෙමේ මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි කකුධ දිව්‍යපුත්‍ර තෙමේ මට මෙය සැළ කළේ ය.
‘ස්වාමීනී, දේවදත්තට මෙබඳු වූ ආශාවක් උපන්නේ ය. එනම් ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි. ස්වාමීනී, දේවදත්තයා ඒ සිත ඉපදවීම ත් සමඟ ම ඔහුගේ ඉර්ධියෙන් පිරිහී ගියේ ය’ යි.
ස්වාමීනී, කකුධ දිව්‍යපුත්‍ර තෙමේ මෙය පැවසුවේ ය. මෙය පවසා මට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.”
“කිම ? මොග්ගල්ලානයෙනි, ඔබ තම සිතින් කකුධ දිව්‍යපුත්‍රයා සිතූ අයුරු දැනගන්නා ලද්දේ ද? එනම් ‘කකුධ දිව්‍ය පුත්‍ර තෙමේ යමක් කියයි නම් ඒ සියල්ල ඒ අයුරින් ම වෙයි. අන් අයුරකින් නොවෙයි’ කියා ?”
“ස්වාමීනී, කකුධ දිව්‍ය පුත්‍ර තෙමේ යමක් කියයි නම් ඒ සියල්ල ඒ අයුරින් ම වෙයි. අන් අයුරකින් නොවෙයි කියා මවිසින් සිය සිතින් කකුධ දිව්‍ය පුත්‍රයා සිතූ අයුරු දැනගන්නා ලද්දේ ය.”
“මොග්ගල්ලානයෙනි, ඔය වචනය රැකගනුව. දැන් දේවදත්ත හිස් පුරුෂයා තමා ම තමා ගැන පළ කරන්නේ ය.
මොග්ගලානයෙනි, ලෝකයෙහි මේ ශාස්තෘවරු පස් දෙනෙක් දකින්නට ලැබෙති. ඒ කවර පස් දෙනෙක් ද යත්;
1. මොග්ගල්ලානයෙනි, මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් නොපිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ සීලය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. නමුත් ඔහු පිළිබඳ ව ශ්‍රාවකයෝ මෙසේ දනිති. ‘මේ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු සිල් ඇත්තේ ම පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ සීලය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. වැලිදු අපි මෙය ගිහියන්ට පවසන්නෙමු නම් ඔහු ඒ ගැන අසතුටු වෙයි. යමක් ඔහුට අසතුටු වෙයි ද, එබඳු දෙයක් අපි කෙසේ නම් කියමු ද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් ලෝකයා ඔහුට සළකයි. ඔහු යමක් කරන්නේ ද, එයින් හේ තමා ව ම ප්‍රකට කරගන්නේ ය.’
මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති ශාස්තෘවරයා ව ශ්‍රාවකයෝ සීලයෙන් රක්ෂා කරති. මෙබඳු වූ ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් සීලයෙහිලා රැකවරණ පතන්නේ ය.
2. තව ද මොග්ගල්ලානයෙනි, ඇතැම් ශාස්තෘවරයෙක් නොපිරිසිදු ජීවිකාව ඇත්තේ ම පිරිසිදු ජීවිකාව ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ජීවිකාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. නමුත් ඔහු පිළිබඳ ව ශ්‍රාවකයෝ මෙසේ දනිති. ‘මේ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ජීවිකාව ඇත්තේ ම පිරිසිදු ජීවිකාව ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ජීවිකාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. වැලිදු අපි මෙය ගිහියන්ට පවසන්නෙමු නම් ඔහු ඒ ගැන අසතුටු වෙයි. යමක් ඔහුට අසතුටු වෙයි ද, එබඳු දෙයක් අපි කෙසේ නම් කියමු ද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් ලෝකයා ඔහුට සළකයි. ඔහු යමක් කරන්නේ ද, එයින් හේ තමා ව ම ප්‍රකට කරගන්නේ ය.’
මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති ශාස්තෘවරයා ව ශ්‍රාවකයෝ ජීවිකාවෙන් රක්ෂා කරති. මෙබඳු වූ ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ජීවිකාවෙහිලා රැකවරණ පතන්නේ ය.
3. තව ද මොග්ගල්ලානයෙනි, ඇතැම් ශාස්තෘවරයෙක් නොපිරිසිදු ධර්ම දේශනා ඇත්තේ ම පිරිසිදු ධර්ම දේශනා ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ධර්ම දේශනාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. නමුත් ඔහු පිළිබඳ ව ශ්‍රාවකයෝ මෙසේ දනිති. ‘මේ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ධර්ම දේශනාව ඇත්තේ ම පිරිසිදු ධර්ම දේශනාව ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ධර්ම දේශනාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. වැලිදු අපි මෙය ගිහියන්ට පවසන්නෙමු නම් ඔහු ඒ ගැන අසතුටු වෙයි. යමක් ඔහුට අසතුටු වෙයි ද, එබඳු දෙයක් අපි කෙසේ නම් කියමු ද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් ලෝකයා ඔහුට සළකයි. ඔහු යමක් කරන්නේ ද, එයින් හේ තමා ව ම ප්‍රකට කරගන්නේ ය.’
මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති ශාස්තෘවරයා ව ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් රක්ෂා කරති. මෙබඳු වූ ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ධර්ම දේශනාවෙහිලා රැකවරණ පතන්නේ ය.
4. තව ද මොග්ගල්ලානයෙනි, ඇතැම් ශාස්තෘවරයෙක් නොපිරිසිදු කථා ව්‍යවහාර ඇත්තේ ම පිරිසිදු කථා ව්‍යවහාර ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ කථා ව්‍යවහාරය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. නමුත් ඔහු පිළිබඳ ව ශ්‍රාවකයෝ මෙසේ දනිති. ‘මේ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු කථා ව්‍යවහාර ඇත්තේ ම පිරිසිදු කථා ව්‍යවහාර ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ කථා ව්‍යවහාරය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. වැලිදු අපි මෙය ගිහියන්ට පවසන්නෙමු නම් ඔහු ඒ ගැන අසතුටු වෙයි. යමක් ඔහුට අසතුටු වෙයි ද, එබඳු දෙයක් අපි කෙසේ නම් කියමු ද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් ලෝකයා ඔහුට සළකයි. ඔහු යමක් කරන්නේ ද, එයින් හේ තමා ව ම ප්‍රකට කරගන්නේ ය.’
මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති ශාස්තෘවරයා ව ශ්‍රාවකයෝ කථා ව්‍යවහාරයෙන් රක්ෂා කරති. මෙබඳු වූ ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් කථා ව්යවහාරයෙහිලා රැකවරණ පතන්නේ ය.
5. තව ද මොග්ගල්ලානයෙනි, ඇතැම් ශාස්තෘවරයෙක් නොපිරිසිදු ඥාන දර්ශනය ඇත්තේ ම පිරිසිදු ඥාන දර්ශනය ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ඥාන දර්ශනය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. නමුත් ඔහු පිළිබඳ ව ශ්‍රාවකයෝ මෙසේ දනිති. ‘මේ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ඥාන දර්ශනය ඇත්තේ ම පිරිසිදු ඥාන දර්ශනය ඇත්තෙක් වෙමි යි ප්‍රතිඥා දෙයි. මාගේ ඥාන දර්ශනය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. වැලිදු අපි මෙය ගිහියන්ට පවසන්නෙමු නම් ඔහු ඒ ගැන අසතුටු වෙයි. යමක් ඔහුට අසතුටු වෙයි ද, එබඳු දෙයක් අපි කෙසේ නම් කියමු ද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් ලෝකයා ඔහුට සළකයි. ඔහු යමක් කරන්නේ ද, එයින් හේ තමා ව ම ප්‍රකට කරගන්නේ ය.’
මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති ශාස්තෘවරයා ව ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් රක්ෂා කරති. මෙබඳු වූ ශාස්තෘවරයා ශ්‍රාවකයන්ගෙන් ඥාන දර්ශනයෙහිලා රැකවරණ පතන්නේ ය.
මොග්ගලානයෙනි, ලෝකයෙහි මේ ශාස්තෘවරු පස් දෙනා දකින්නට ලැබෙති.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු සිල් ඇති වූයේ ම පිරිසිදු සිල් ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ සීලය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ සීලයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් සීලයෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ජීවිකාව ඇති වූයේ ම පිරිසිදු ජීවිකාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ජීවිකාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ජීවිකාවෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන් ගෙන් ජීවිකාවෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ධර්ම දේශනාව ඇති වූයේ ම පිරිසිදු ධර්ම දේශනාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ධර්ම දේශනාව පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ධර්ම දේශනාවෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු කථා ව්‍යවහාරය ඇති වූයේ ම පිරිසිදු කථා ව්‍යවහාරය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ කථා ව්‍යවහාරය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ කථා ව්‍යවහාරයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් කථා ව්යවහාරයෙහිලා රැකවරණ නොපතමි.
මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසිදු ඥාන දර්ශනය ඇති වූයේ ම පිරිසිදු ඥාන දර්ශනය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ඥාන දර්ශනය පිරිසිදු ය. බබලයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ඥාන දර්ශනයෙහිලා රැකවරණ නොපතමි.”
සාදු! සාදු!! සාදු!!!
කකුධ සූත්‍රය නිමා විය.
පස්වෙනි කකුධ වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
සම්පදා සූත්‍ර දෙක, බ්යාකරණ සූත්‍රය, ඵාසුවිහාර සූත්‍රය, අකුප්ප සූත්‍ර සතර, සීහ සූත්‍රය සහ කකුධ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
දෙවෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M