අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.4.8. ථේර සුත්තං

5.2.4.8. ස්ථවිර භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නේ වෙයි. බොහෝ ජනයාට දුක් පිණිස ද, බොහෝ ජනයාට ද, දෙව් මිනිසුන්ට ද අනර්ථය පිණිස, අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

(1). පැවිදි බව තුළ බොහෝ රාත්‍රීන් ගෙවා, පැවිදි ව බොහෝ කල් ගෙවා ස්ථවිර බවට පත් වූයේ වෙයි.

(2). ප්‍රසිද්ධ වූයේ වෙයි. ගිහි පැවිදි යස පිරිවර ඇත්තේ බොහෝ ජනයා පිරිවර කොට ඇත්තේ වෙයි.

(3). සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු වූයේ වෙයි.

(4). ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ නොකරන ලද්දාහු ය.

(5). මිථ්‍යා දෘෂ්ටික වූයේ වෙයි. විපරීත දැක්මෙන් යුක්ත වූයේ වෙයි. ඒ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයා ධර්ම මාර්ගයෙන් බැහැර කොට අධර්මයෙහි පිහිටුවයි.

එවිට ‘පැවිදි බව තුළ බොහෝ රාත්‍රීන් ගෙවා, පැවිදි ව බොහෝ කල් ගෙවා ස්ථවිර බවට පත් වූ භික්ෂුවක් නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව ප්‍රසිද්ධ නොවැ. ගිහි පැවිදි යස පිරිවර ඇත්තේ බොහෝ ජනයා පිරිවර කොට ඇත්තේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු වූයේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව බහුශ්‍රැත වූයේ සුතධර වූයේ රැස්කරගත් බොහෝ දහම් දැනුම ඇත්තේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නේ වෙයි. බොහෝ ජනයාට දුක් පිණිස ද, බොහෝ ජනයාට ද, දෙව් මිනිසුන්ට ද අනර්ථය පිණිස, අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්නේ වෙයි. බොහෝ ජනයාට සැප පිණිස ද, බොහෝ ජනයාට ද, දෙව් මිනිසුන්ට ද අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

පැවිදි බව තුළ බොහෝ රාත්‍රීන් ගෙවා, පැවිදි ව බොහෝ කල් ගෙවා ස්ථවිර බවට පත් වූයේ වෙයි.

ප්‍රසිද්ධ වූයේ වෙයි. ගිහි පැවිදි යස පිරිවර ඇත්තේ බොහෝ ජනයා පිරිවර කොට ඇත්තේ වෙයි.

සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු වූයේ වෙයි.

ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.

සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. අවිපරීත දැක්මෙන් යුක්ත වූයේ වෙයි. ඒ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයා අධර්ම මාර්ගයෙන් බැහැර කොට ධර්මයෙහි පිහිටුවයි.

එවිට ‘පැවිදි බව තුළ බොහෝ රාත්‍රීන් ගෙවා, පැවිදි ව බොහෝ කල් ගෙවා ස්ථවිර බවට පත් වූ භික්ෂුවක් නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව ප්‍රසිද්ධ නොවැ. ගිහි පැවිදි යස පිරිවර ඇත්තේ බොහෝ ජනයා පිරිවර කොට ඇත්තේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු වූයේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

‘මේ ස්ථවිර භික්ෂුව බහුශ්‍රැත වූයේ සුතධර වූයේ රැස්කරගත් බොහෝ දහම් දැනුම ඇත්තේ නොවැ’ යි කියමින් ඔහුගේ අදහසට අනුගත වෙති.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්නේ වෙයි. බොහෝ ජනයාට සැප පිණිස ද, බොහෝ ජනයාට ද, දෙව් මිනිසුන්ට ද අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ථේර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M