සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;
භික්ෂුව සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වදන් පවසන්නේ වෙයි. වැදගත් වචනයෙන් යුක්ත වූයේ, නොවිසුරුණු වචන ඇත්තේ, නිදොස් වචන ඇත්තේ, අරුත් මතුවෙන වචන භාවිත කරන්නේ වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. සුවසේ ලබන්නේ වෙයි. බොහෝ කොට ලබන්නේ වෙයි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොවදී ම තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සීල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M