සැවැත් නුවර දී ය ……..
මහණෙනි, මේ පස් වැදෑරුම් අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල තරුණ වූයේ යොවුන් වූයේ ඉතා කළු කෙස් ඇත්තේ සොඳුරු වූ යෞවනයෙන් යුක්ත වූයේ පළමු වයසේ සිටිමි. යම් හෙයකින් මේ ශරීරය ජරාවෙන් ස්පර්ශ කරනු ලබන්නේ ද, එබඳු කාලයක් එන්නේ ම ය. ජරා ජීර්ණ ව ජරාවෙන් මැඬුණු කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නැත්තේ ය. අරණ්‍ය, වනපෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරන්නට පහසු නැත්තේ ය. මා වෙත ඒ අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ ඒ ජරා ධර්මය සැණෙකින් පැමිණෙන්නේ ය. එයට පෙර ම මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි. යම් ධර්මයකින් සමන්විත වූ මම ජරාජීර්ණ වූයේ නමුත් පහසුවෙන් වාසය කරන්නෙමි’ යි. මහණෙනි, මේ පළමුවෙනි අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
තව ද මහණෙනි, භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල අල්ප ආබාධ ඇත්තේ වෙමි. අල්ප රෝග ඇත්තේ වෙමි. සම ව දිරවන වඩා ත් සීත නොවූ ත්, වඩා ත් ඌෂ්ණ නොවූ ත්, මධ්‍යම ආහාර දිරවන ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ආකාරයේ ග්‍රහණියකින් සමන්විත වූයේ වෙමි. යම් හෙයකින් මේ ශරීරය රෝගයෙන් ස්පර්ශ කරනු ලබන්නේ ද, එබඳු කාලයක් එන්නේ ම ය. රෝගී ව රෝගයෙන් මැඬුණු කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නැත්තේ ය. අරණ්‍ය, වනපෙත්, සෙනසුන් සේවනය කරන්නට පහසු නැත්තේ ය. මා වෙත ඒ අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ ඒ රෝගයන් සැණෙකින් පැමිණෙන්නේ ය. එයට පෙර ම මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි. යම් ධර්මයකින් සමන්විත වූ මම රෝගී වූයේ නමුත් පහසුවෙන් වාසය කරන්නෙමි’ මහණෙනි, මේ දෙවෙනි අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
මහණෙනි, මෙහිලා භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මෙකල වනාහී සුභික්ෂ ඇතිවූයේ වෙයි. වගාවන් සරුසාර වූයේ, ආහාර සොයා ගැනීමට පහසු වූයේ වෙයි. පාත්‍රය ගෙන පිඬු සිඟා යෑමෙන් යැපෙන්නට පහසු වෙයි. යම් හෙයකින් දුර්භික්ෂයක් ඇතිවන්නේ නම්, වගාවන් වැනසී යන්නේ නම්, ආහාර සොයා ගැනීමට අපහසු වන්නේ ම ය. පාත්‍රය ගෙන පිඬු සිඟා යෑමෙන් යැපෙන්නට දුෂ්කර වන්නේ ම ය. එබඳු කාලයක් එන්නේ ම ය. දුර්භික්ෂයෙහි වනාහී මිනිස්සු ආහාරපාන ඇති තැන් සොයා සංක්‍රමණය කරති. එහි බොහෝ ජනයා එකට රැස් වී සිටිති. එකට වාසය කරති. බොහෝ ජනයා රැස් වී එකට වාසය කරන කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නැත්තේ ය. අරණ්‍ය, වනපෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරන්නට පහසු නැත්තේ ය. මා වෙත ඒ අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ ඒ දුර්භික්ෂය සැණෙකින් පැමිණෙන්නේ ය. එයට පෙර ම මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි. යම් ධර්මයකින් සමන්විත වූ මම දුර්භික්ෂයකට පැමිණියේ නමුත් පහසුවෙන් වාසය කරන්නෙමි’ යි. මහණෙනි, මේ තුන්වෙනි අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
තව ද මහණෙනි, භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මෙකල වනාහී මිනිස්සු සමගි ව සමගියෙන් සතුටු වෙමින් වාද විවාද නොකරමින් කිරි හා දිය එක් වූ කලක මෙන් ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරති. යම් හෙයකින් භය ඇති වන්නේ ද, වන වැදුණු සොරුන්ගෙන් වන බිය හේතුවෙන් රථයන්ට නැගී ජනපදවැසියෝ රැකවරණ සොයා දුව යන්නාහු ද, එබඳු කාලයක් එන්නේ ම ය. භයෙහි වනාහී මිනිස්සු ආරක්ෂාව ඇති තැන් සොයා සංක්‍රමණය කරති. එහි බොහෝ ජනයා එකට රැස් වී සිටිති. එකට වාසය කරති. බොහෝ ජනයා රැස් වී එකට වාසය කරන කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නැත්තේ ය. අරණ්‍ය, වනපෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරන්නට පහසු නැත්තේ ය. මා වෙත ඒ අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ ඒ භය සැණෙකින් පැමිණෙන්නේ ය. එයට පෙර ම මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි. යම් ධර්මයකින් සමන්විත වූ මම භයකට පැමිණියේ නමුත් පහසුවෙන් වාසය කරන්නෙමි’ යි. මහණෙනි, මේ සිව්වෙනි අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
තව ද මහණෙනි, භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මෙකල වනාහී සංඝයා සමගි වූයේ වෙයි. සමගියෙන් සතුටු වූයේ වෙයි. වාද විවාද නොකරන්නේ වෙයි. එක අරමුණක් උදෙසා සුවසේ වසන්නේ වෙයි. යම් හෙයකින් සංඝයා බිඳුණේ වෙයි නම් එබඳු කාලයක් එන්නේ ම ය. සංඝයා භේද බින්න වූ කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නැත්තේ ය. අරණ්‍ය, වනපෙත්, දුර ඈත සෙනසුන් සේවනය කරන්නට පහසු නැත්තේ ය. මා වෙත ඒ අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ ඒ සංඝභේදය සැණෙකින් පැමිණෙන්නේ ය. එයට පෙර ම මම නොපත් මාර්ගඵලාධි ගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි. යම් ධර්මයකින් සමන්විත වූ මම භින්න වූ සංඝයා අතරට පැමිණියේ නමුත් පහසුවෙන් වාසය කරන්නෙමි’ යි. මහණෙනි, මේ පස්වෙනි අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
මහණෙනි, මේ පස් වැදෑරුම් අනාගත භය දකිනා භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අනාගත භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M