අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.3.7. පඨම අනාගත භය සුත්තං

5.2.3.7. අනාගත භය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……..

මහණෙනි, මේ පස් වැදෑරුම් අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා අරණ්‍යවාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල හුදෙකලාවෙහි වනයෙහි වාසය කරමි. හුදෙකලාවෙහි වනයෙහි වාසය කරන මා හට සර්පයෙක් හෝ දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මා හට අන්තරායයකි. එහෙයින් මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි’ යි. මහණෙනි, මේ පළමුවෙනි අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

තව ද මහණෙනි, අරණ්‍යවාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල හුදෙකලාවෙහි වනයෙහි වාසය කරමි. හුදෙකලාවෙහි වනයෙහි වාසය කරන මම පය පැකිලී හෝ වැටෙන්නෙම් නම්, මා වැළඳූ දානය අජීර්ණ වන්නෙම් නම්, මාගේ පිත හෝ කිපෙන්නේ නම්, මාගේ සෙම හෝ කිපෙන්නේ නම්, මාගේ වාතය හෝ කිපෙන්නේ නම්, එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මා හට අන්තරායයකි. එහෙයින් මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි’ යි. මහණෙනි, මේ දෙවෙනි අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

තව ද මහණෙනි, අරණ්‍යවාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල හුදෙකලාවෙහි වනයෙහි වාසය කරමි. හුදෙකලාවෙහි වනයෙහි වාසය කරන මම සිංහයෙකු සමඟ හෝ ව්‍යාඝ්‍රයෙකු සමඟ හෝ දිවියෙකු සමඟ හෝ වළසෙකු සමඟ හෝ කරබානා වළසෙකු සමඟ හෝ මෙවැනි බිහිසුණු වන සතෙකු සමඟ හෝ එකතු වන්නෙම් නම් ඔවුහු මගේ ජීවිතය වනසන්නාහු ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මා හට අන්තරායයකි. එහෙයින් මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි’ යි. මහණෙනි, මේ තුන්වෙනි අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

තව ද මහණෙනි, අරණ්‍යවාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල හුදෙකලාවෙහි වනයෙහි වාසය කරමි. හුදෙකලාවෙහි වනයෙහි වාසය කරන මම සොරකම් කළ හෝ සොරකම් නොකළ හෝ පුද්ගලයන් සමඟ ඇසුරට වැටෙන්නෙම් නම් ඔවුහු මාගේ දිවි තොර කරන්නාහ. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මා හට අන්තරායයකි. එහෙයින් මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි’ යි. මහණෙනි, මේ සිව්වෙනි අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

තව ද මහණෙනි, මෙහිලා අරණ්‍යවාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. ‘මම වනාහී මෙකල හුදෙකලාවෙහි වනයෙහි වාසය කරමි. අරණ්‍යයෙහි වනාහී බිහිසුණු අමනුෂ්‍යයෝ සිටිත් ම ය. ඔවුහු මගේ ජීවිතය තොර කරන්නාහු ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මා හට අන්තරායයකි. එහෙයින් මම නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹමි’ යි. මහණෙනි, මේ පස්වෙනි අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධි ගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

මහණෙනි, මේ පස් වැදෑරුම් අනාගත භය දකිනා අරණ්‍යවාසී භික්ෂුව විසින් අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා නොපත් මාර්ගඵලාධිගමයන් ලැබීම පිණිස ත්, නොඅත්දුටු මාර්ගඵලාධිගමයන් අත්දැකීම පිණිස ත්, සාක්ෂාත් නොකළ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීම පිණිස ත් වාසය කරන්නට සුදුසු ම ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම අනාගත භය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M