අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.3.6. දුතිය යෝධාජීවූපම සුත්තං

5.2.3.6. යුද භටයා උපමා කොට වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ලෝකයෙහි මේ යුද භටයෝ පස් දෙනෙක් විද්‍යමාන ව සිටිති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි. හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි. වීරිය කරයි. එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහු ව සතුරෝ නසත්. මරණයට පමුණුවත්. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ පළමු යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි. හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි. වීරිය කරයි. එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත්. එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යයි. බැහැරට ගෙන ගොස් ඥාතීන් වෙත රැගෙන යන්නට සලස්වත්. ඔහුව හිතවතුන් විසින් ගෙනයන්නේ ඥාතීන් කරා නොගොස් ම අතරමගදී මරණයට පත් වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ දෙවෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි. හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි. වීරිය කරයි. එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත්. එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යත්. බැහැරට ගෙන ගොස් ඥාතීන්ට භාර දෙති. ඥාතීහු ඒ යුද භටයාට උපස්ථාන කරති. සේවා කරති. ඒ ඥාතීන් විසින් පිරිවරනු ලබන්නේ උපස්ථාන කරනු ලබන්නේ නමුත් ඒ තුවාලයෙන් ම ඔහු මරණයට පත් වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ තෙවෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි. හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි. වීරිය කරයි. එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත්. එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යත්. බැහැරට ගෙන ගොස් ඥාතීන්ට භාර දෙති. ඥාතීහු ඒ යුද භටයාට උපස්ථාන කරති. ඒ ඥාතීන් විසින් පිරිවරනු ලබන්නේ උපස්ථාන කරනු ලබන්නේ ඒ තුවාලය සුවපත් වී ඔහු ඒ ආබාධයෙන් නැගී සිටියි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ සිව්වෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතුව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි. හේ ඒ යුද්ධයේ දී ජයග්‍රහණය කොට දිනාගත් යුද්ධය ඇත්තේ ඒ යුද භූමියේ ම වාසය කරයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ පස්වෙනි යුද භටයා ය.

මහණෙනි, ලෝකයෙහි මේ යුද භටයෝ පස් දෙනා විද්‍යමාන ව සිටිති.

එසෙයින් ම මහණෙනි, භික්ෂූන් අතර ද පස් වැදෑරුම් යුද භටයන් උපමා කොට ඇති පුද්ගලයෝ පස් දෙනෙක් දකින්නට ලැබෙති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. හේ නොරැක ගත් කයින් යුතු ව, නොරැක ගත් වචනයෙන් යුතු ව, නොරැක ගත් සිතින් යුතු ව, එළඹ සිටි සිහියෙන් තොර ව, අසංවර ඉඳුරන් ඇති ව යයි. හේ එහිදී නොමනා ලෙස වස්ත්‍ර හැඳ ගත්, නොමනා ලෙස වස්ත්‍ර පොරොවා ගත් ස්ත්‍රියක් දකියි. නොමනා ලෙස හැඳගත්, නොමනා ලෙස පොරොවා ගත් වස්ත්‍ර ඇති ඒ ස්ත්‍රිය දැක ඔහුගේ සිත රාගයෙන් කුසල් මග දුර්වල කරයි. රාගය විසින් කුසල් දුර්වල කළ සිතින් ඔහු ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, දුර්වල බව පහළ නොකොට අඹුසැමියන් ලෙස හැසිරෙයි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි ද, හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි ද, වීරිය කරයි ද, එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහු ව සතුරෝ නසත් ද, මරණයට පමුණුවත් ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, පළමුවෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. හේ නොරැක ගත් කයින් යුතු ව, නොරැක ගත් වචනයෙන් යුතු ව, නොරැක ගත් සිතින් යුතු ව, එළඹ සිටි සිහියෙන් තොර ව, අසංවර ඉඳුරන් ඇතිව යයි. හේ එහිදී නොමනා ලෙස වස්ත්‍ර හැඳ ගත්, නොමනා ලෙස වස්ත්‍ර පොරොවා ගත් ස්ත්‍රියක් දකියි. නොමනා ලෙස හැඳගත්, නොමනා ලෙස පොරොවා ගත් වස්ත්‍ර ඇති ඒ ස්ත්‍රිය දැක ඔහුගේ සිත රාගයෙන් කුසල් මග දුර්වල කරයි. ඔහු රාගයෙන් පහර කන ලද සිතින් යුතුව කයෙන් දැවෙමින් සිටියි. සිතින් ද දැවෙමින් සිටියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම් ආරාමයට ගොස් ‘ආයුෂ්මත්නි, මම රාගයෙන් පීඩාවට පත්වුණෙමි. රාගයෙන් මඬනා ලද්දෙමි. නිවන් මගෙහි හැසිරෙන්නට හැකියාවක් නැත්තෙමි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ලාමක ගිහි බවට පත්වන්නෙමි’ යි භික්ෂූන්ට ආරෝචනය කරන්නෙම් නම් මැනැවි.’ මෙසේ සිතා ඔහු ආරාමයට යන්නේ අතරමගදී ආරාමයට

නොගොස් ම ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට පත්වෙයි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි ද, හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි ද, වීරිය කරයි ද, එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත් ද, එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යයි ද, බැහැරට ගෙන ගොස් ඥාතීන්ට භාර දෙත් ද, ඒ ඥාතීන් ඔහු ව වෙදෙකු වෙත ගෙනයන්නේ ඒ උපස්ථායක ඥාතීන් කරා නොගොස් ම අතරමගදී මරණයට පත් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, දෙවෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. හේ නොරැක ගත් කයින් යුතු ව, නොරැක ගත් වචනයෙන් යුතු ව, නොරැක ගත් සිතින් යුතු ව, එළඹ සිටි සිහියෙන් තොර ව, අසංවර ඉඳුරන් ඇති ව යයි. හේ එහිදී නොමනා ලෙස වස්ත්‍ර හැඳ ගත්, නොමනා ලෙස වස්ත්‍ර පොරොවා ගත් ස්ත්‍රියක් දකියි. නොමනා ලෙස හැඳගත්, නොමනා ලෙස පොරොවා ගත් වස්ත්‍ර ඇති ඒ ස්ත්‍රිය දැක ඔහුගේ සිත රාගයෙන් කුසල් මග දුර්වල කරයි. ඔහු රාගයෙන් පහර කන ලද සිතින් යුතු ව කයෙන් දැවෙමින් සිටියි. සිතින් ද දැවෙමින් සිටියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම් ආරාමයට ගොස් ‘ආයුෂ්මත්නි, මම රාගයෙන් පීඩාවට පත්වුණෙමි. රාගයෙන් මඬනා ලද්දෙමි. නිවන් මගෙහි හැසිරෙන්නට හැකියාවක් නැත්තෙමි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ලාමක ගිහි බවට පත්වන්නෙමි’ යි භික්ෂූන්ට ආරෝචනය කරන්නෙම් නම් මැනැවි.’ මෙසේ සිතා ඔහු ආරාමයට ගොස් භික්ෂූන්ට ආරෝචනය කරයි. ‘ආයුෂ්මත්නි, මම රාගයෙන් පීඩාවට පත්වුණෙමි. රාගයෙන් මඬනා ලද්දෙමි. නිවන් මගෙහි හැසිරෙන්නට හැකියාවක් නැත්තෙමි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ලාමක ගිහි බවට පත්වන්නෙමි’ යි.

එවිට ඒ සබ්‍රහ්මචාරීහු ඔහුට අවවාද කරති. අනුශාසනා කරති. ‘ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමයන් අල්ප ආශ්වාදයෙන් යුතු බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ඇට සැකිල්ලක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය මස් වැදැල්ලක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ඇවිල ගත් තණ හුලක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ගිනි අඟුරු වළක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය සුළු මොහොතකට පෙනෙන සිහිනයක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය යනු ගසක ඇති ගෙඩි බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය මස් කපන කොටයක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය තියුණු සැතක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය බිහිසුණු සර්පයෙකුගේ හිසක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. ආයුෂ්මත, බඹසරෙහි ඇළුම් කෙරේවා! ආයුෂ්මත, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පත් නොවේවා!’

මෙසේ සබ්‍රහ්මචාරීන් විසින් අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, ඔහු මෙසේ කියයි. ‘ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයන් අල්ප ආශ්වාද ඇති බව ත්, බොහෝ දුක් ඇති බව ත්, බොහෝ කරදර ඇති බව ත්, එහි ආදීනව බොහෝ ඇති බවත් වදාරණ ලද්දේ ම ය. එනමුදු මම බඹසර රකින්නට නොහැක්කෙමි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පත්වන්නෙමි’ යි. හේ ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පත්වෙයි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි ද, හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි ද, වීරිය කරයි ද, එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත් ද, එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යයි ද, බැහැරට ගෙන ගොස් ඥාතීන්ට භාර දෙත් ද, ඥාතීහු ඒ යුද භටයාට උපස්ථාන කරත් ද, ඒ ඥාතීන් විසින් පිරිවරනු ලබන්නේ උපස්ථාන කරනු ලබන්නේ නමුත් ඒ තුවාලයෙන් ම ඔහු මරණයට පත් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, තුන්වෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. හේ නොරැක ගත් කයින් යුතු ව, නොරැක ගත් වචනයෙන් යුතු ව, නොරැක ගත් සිතින් යුතු ව, එළඹ සිටි සිහියෙන් තොර ව, අසංවර ඉඳුරන් ඇති ව යයි. හේ එහිදී නොමනා ලෙස වස්ත්‍ර හැඳ ගත්, නොමනා ලෙස වස්ත්‍ර පොරොවා ගත් ස්ත්‍රියක් දකියි. නොමනා ලෙස හැඳගත්, නොමනා ලෙස පොරොවා ගත් වස්ත්‍ර ඇති ඒ ස්ත්‍රිය දැක ඔහුගේ සිත රාගයෙන් කුසල් මග දුර්වල කරයි. ඔහු රාගයෙන් පහර කන ලද සිතින් යුතුව කයෙන් දැවෙමින් සිටියි. සිතින් ද දැවෙමින් සිටියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම් ආරාමයට ගොස් ‘ආයුෂ්මත්නි, මම රාගයෙන් පීඩාවට පත්වුණෙමි. රාගයෙන් මඬනා ලද්දෙමි. නිවන් මගෙහි හැසිරෙන්නට හැකියාවක් නැත්තෙමි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ලාමක ගිහි බවට පත්වන්නෙමි’ යි භික්ෂූන්ට ආරෝචනය කරන්නෙම් නම් මැනැවි.’ මෙසේ සිතා ඔහු ආරාමයට ගොස් භික්ෂූන්ට ආරෝචනය කරයි. ‘ආයුෂ්මත්නි, මම රාගයෙන් පීඩාවට පත්වුණෙමි. රාගයෙන් මඬනා ලද්දෙමි. නිවන් මගෙහි හැසිරෙන්නට හැකියාවක් නැත්තෙමි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට ලාමක ගිහි බවට පත්වන්නෙමි’ යි.

එවිට ඒ සබ්‍රහ්මචාරීහු ඔහුට අවවාද කරති. අනුශාසනා කරති. ‘ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමයන් අල්ප ආශ්වාදයෙන් යුතු බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ඇට සැකිල්ලක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය මස් වැදැල්ලක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ඇවිල ගත් තණ හුලක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය ගිනි අඟුරු වළක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය සුළු මොහොතකට පෙනෙන සිහිනයක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය යනු ගසක ඇති ගෙඩි බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය මස් කපන කොටයක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය තියුණු සැතක් බඳු දෙයක් බව යි. ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ කාමය බිහිසුණු සර්පයෙකුගේ හිසක් බඳු දෙයක් බව යි. බොහෝ දුක්, බොහෝ කරදර ඇති බව යි. එහි ආදීනව බොහෝ ඇති බව යි. ආයුෂ්මත, බඹසරෙහි ඇළුම් කෙරේවා! ආයුෂ්මත, ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පත් නොවේවා!’

මෙසේ සබ්‍රහ්මචාරීන් විසින් අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, ඔහු මෙසේ කියයි. ‘ආයුෂ්මත්නි, මම උත්සාහ කරන්නෙමි. ඒ ධර්මය ධරා ගන්නෙමි. ආයුෂ්මත්නි, මම සිත් අලවා වසන්නෙමි. ආයුෂ්මත්නි, මම දැන් ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට පත් නොවන්නෙමි’ යි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි ද, හේ ඒ යුද්ධයේ දී උත්සාහ කරයි ද, වීරිය කරයි ද, එසේ උත්සාහ කරන, වීරිය කරන ඔහුට සතුරෝ විදිත් ද, එවිට ඔහු යුද භූමියෙන් බැහැර ගෙන යයි ද, බැහැරට ගෙන ගොස් ඥාතීන්ට භාර දෙත් ද, ඥාතීහු ඒ යුද භටයාට උපස්ථාන කරත් ද, ඒ ඥාතීන් විසින් පිරිවරනු ලබන්නේ උපස්ථාන කරනු ලබන්නේ ඒ තුවාලය සුවපත් වී ඔහු ඒ ආබාධයෙන් නැගී සිටියි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, සිව්වෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. හේ රැක ගත් කයින් යුතු ව, රැක ගත් වචනයෙන් යුතු ව, රැක ගත් සිතින් යුතු ව, එළඹ සිටි සිහියෙන් යුතු ව, සංවර ඉඳුරන් ඇති ව යයි.

හේ ඇසින් රූපයක් දැක සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් වත් නොගන්නේ වෙයි. යම් හෙයකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ලෝභ ද්වේෂ ආදී පාපී අකුසලයෝ තමා ව ලුහුබැඳ එත් නම් එහි සංවරය පිණිස පිළිපදියි. ඇස නම් ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයින් පහස ලබා ….(පෙ)…. හේ මනසින් අරමුණක් දැන සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් වත් නොගන්නේ වෙයි. යම් හෙයකින් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ලෝභ ද්වේෂ ආදී පාපී අකුසලයෝ තමා ව ලුහුබැඳ එත් නම් එහි සංවරය පිණිස පිළිපදියි. මනස නම් ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

හේ පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී සිටියේ හුදෙකලා සෙනසුන් ඇසුරු කරයි. අරණ්‍යය, රුක් සෙවණ, පර්වතය, දිය ඇලි, ගිරි ගුහා, සුසාන, වන පෙත, නිදහස් තැන්, පිදුරු කුටි ආදී හුදෙකලා තැන් සේවනය කරයි. හේ අරණ්‍යගත වූයේ හෝ රුක් සෙවණකට ගියේ හෝ හිස් කුටියකට ගියේ හෝ පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා වාඩිවෙයි.

හේ තම ලොවෙහි ඇති ලෝභය අත්හැර ලෝභ රහිත වූ සිතින් වාසය කරයි. සිත ලෝභයෙන් පිරිසිදු කරයි. ද්වේෂයෙන් සිත දූෂිත වීම අත්හැර ද්වේෂ රහිත සිතින් සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය අත්හැර ථීනමිද්ධයෙන් තොර ව ආලෝක සංඥී ව සිහිනුවණින් යුතු ව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරීම ත්, පසුතැවීම ත් අත්හැර නොවිසිරෙන ශාන්ත සිතින් වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර සැකයෙන් එතෙර වූයේ කුසල් දහම් පිළිබඳ කෙසේද කෙසේද යන සැකයෙන් තොර ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

හේ මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා වාසය කරන්නේ වෙයි.

මෙසේ හේ සිත සමාධිමත් වූ කල්හී, පිරිසිදු වූ කල්හී, බබලන කල්හී, උපක්ලේශ නැති කල්හී, උපක්ලේශ රහිත කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය ව මැනැවින් පිහිටා නිශ්චල බවට පත් ව තිබෙන කල්හී ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස සිත යොමු කරයි. හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුක නිරුද්ධ වන මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේවා ආශ්‍රවයෝ යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රවයන්ගේ හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙළ යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි.

මේ අයුරින් දන්නා, මේ අයුරින් දක්නා ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත භවාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත අවිජ්ජාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. කෙලෙසුන්ගෙන් නිදහස් වූ කල්හී නිදහස් වූයේ යැයි ඥානය ඇතිවෙයි. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය සපුරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැතැ’යි දැනගනියි.

මහණෙනි, යම් සේ ඒ යුද භටයෙක් කඩු පළිහ ගෙන, දුනු හියවුරු සදා යුද සේනාවෙන් යුතු ව සංග්‍රාම භූමියට ඇතුළු වෙයි ද, හේ ඒ යුද්ධයේ දී ජයග්‍රහණය කොට දිනාගත් යුද්ධය ඇත්තේ ඒ යුදභූමියේ ම වාසය කරයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, පස්වෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

මහණෙනි, භික්ෂූන් අතර ද පස් වැදෑරුම් යුද භටයන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ පස් දෙනා දකින්නට ලැබෙති.

සාදු! සාදු!! සාදු!!!

දුතිය යෝධාජීවූපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M