අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.3.5. පඨම යෝධාජීවූපම සුත්තං

5.2.3.5. යුද භටයා උපමා කොට වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ලෝකයෙහි මේ යුද භටයෝ පස් දෙනෙක් විද්‍යමාන ව සිටිති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් යුද භටයෙක් සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීමෙන් ම කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ පළමු යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. වැලිදු ඈතින් පෙනෙන ලෙල දෙමින් ඇති කොඩි අග දැකීමෙන් කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ දෙවෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. ඈතින් පෙනෙන ලෙල දෙමින් ඇති කොඩි අග දැකීම ඉවසයි. වැලිදු සතුරන්ගේ සිව්රඟ සේනා ශබ්දය ඇසීමෙන් කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ තෙවෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. ඈතින් පෙනෙන ලෙල දෙමින් ඇති කොඩි අග දැකීම ඉවසයි. සතුරන්ගේ සිව්රඟ සේනා ශබ්දය ඇසීම ඉවසයි. වැලිදු තමන් වෙත එල්ල වන සුළු ප්‍රහාරයෙනුත් කඩා වැටෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ සිව්වෙනි යුද භටයා ය.

තව ද මහණෙනි, ඇතැම් යුද භටයෙක් සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. ඈතින් පෙනෙන ලෙල දෙමින් ඇති කොඩි අග දැකීම ඉවසයි. සතුරන්ගේ සිව්රඟ සේනා ශබ්දය ඇසීම ඉවසයි. තමන් වෙත එල්ල වන සුළු ප්‍රහාරය ඉවසයි. හේ ඒ සංග්‍රාමය දිනා ජයගත් යුද්ධය ඇත්තේ ඒ සංග්‍රාම භූමියෙහි වාසය කරයි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් යුද භටයෙක් ඇත්තේ ය. මහණෙනි, මේ ලෝකයෙහි දකින්නට ලැබෙන මේ පස්වෙනි යුද භටයා ය.

මහණෙනි, ලෝකයෙහි මේ යුද භටයෝ පස් දෙනා විද්‍යමාන ව සිටිති.

එසෙයින් ම මහණෙනි, භික්ෂූන් අතර ද පස් වැදෑරුම් යුද භටයන් උපමා කොට ඇති පුද්ගලයෝ පස් දෙනෙක් දකින්නට ලැබෙති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව උඩට නැගෙන දුහුවිලි දැකීමෙන් ම කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. බඹසර හැසිරෙන්නට නොහැකි වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. ඔහුට ඇති උඩට නැගෙන දුහුවිලි යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව අසවල් ගමෙහි හෝ අසවල් නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් වේවා යුවතියක් වේවා ඉතා රූපවත් ය, දර්ශනීය ය, ප්‍රසාදජනක ය, උත්තම ශරීර වර්ණයෙන් යුතු ව, අඟපසඟින් යුතු ව සිටින්නී යැයි අසයි. හේ එය අසා කාම විතර්කයෙහි ගැලෙයි. එය ම සිත සිතා සිටියි. බඹසරෙහි රැඳෙන්නට අසමර්ථ වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. මෙය ඔහුට උඩට නැගුණු දුහුවිල්ලයි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීමෙන් ම කම්පා වෙයි ද, විශේෂයෙන් කම්පා වෙයි ද, ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි ද, සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, පළමුවෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. එනමුදු කොඩියේ අග දැකීමෙන් කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. බඹසර හැසිරෙන්නට නොහැකි වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. ඔහුගේ කොඩි අග දැකීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව අසවල් ගමෙහි හෝ අසවල් නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් වේවා යුවතියක් වේවා ඉතා රූපවත් ය, දර්ශනීය ය, ප්‍රසාදජනක ය, උත්තම ශරීර වර්ණයෙන් යුතු ව, අඟපසඟින් යුතු ව සිටින්නී යැයි නොඅසයි. එනමුදු තෙමේ ම ඉතා රූපවත් වූ, පැහැපත් වූ ප්‍රසාදජනක වූ, උතුම් ශරීර වර්ණය ඇති, මනා අඟපසඟ ඇති ස්ත්‍රියක හෝ යුවතියක හෝ දකියි. හේ ඇය දැක කාම විතර්කයෙහි ගැලෙයි. එය ම සිත සිතා සිටියි. බඹසරෙහි රැඳෙන්නට අසමර්ථ වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. මෙය ඔහුට කොඩි අග යි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි ද, එහෙත් කොඩි අග දැකීමෙන් කම්පා වෙයි ද, විශේෂයෙන් කම්පා වෙයි ද, ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි ද, සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, දෙවෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. කොඩියේ අග දැකීම ඉවසයි. සතුරු යුද සේනාවේ රණහඬ අසා කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි. බඹසර හැසිරෙන්නට නොහැකි වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. ඔහුගේ රණහඬ ඇසීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් කුටියකට ගියේ හෝ වෙයි. ඔහු වෙත පැමිණෙන ස්ත්‍රියක් අවමන් පිණිස සිනහසෙයි. හුවා දක්වා කතා කරයි. අත් සොළවමින් මහා හඬින් සිනහසෙයි. කවටකම් කරයි. හේ අවමන් පිණිස සිනහසෙන, හුවා දක්වා කතා කරන, මහ හඬින් සිනහසෙන, කවටකම් කරන ස්ත්‍රිය හේතුකොට ගෙන කාම විතර්කයෙහි ගැලෙයි. එය ම සිත සිතා සිටියි. බඹසරෙහි රැඳෙන්නට අසමර්ථ වෙයි. ශික්ෂාවෙහි දුර්වල බව ප්‍රකාශ කොට, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටෙයි. මෙය ඔහුට රණහඬ ඇසීම යි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි ද, කොඩි අග දැකීම ඉවසයි ද, එහෙත් සතුරු රණහඬ අසා කම්පා වෙයි ද, විශේෂයෙන් කම්පා වෙයි ද, ධෛර්යමත් ව සිටින්නට නොහැකි වෙයි ද, සංග්‍රාම භූමියට බසින්නට නොහැකි වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, තෙවෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. කොඩියේ අග දැකීම ඉවසයි. සතුරු යුද සේනාවේ රණහඬ ඉවසයි. එහෙත් ස්වල්ප වූ ප්‍රහාරයෙන් කඩා වැටෙයි. විකෘතියට පත්වෙයි. ඔහුට ලැබෙන ස්වල්ප වූ ප්‍රහාරය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් කුටියකට ගියේ හෝ වෙයි. ඔහු වෙත පැමිණෙන ස්ත්‍රියක් තමන් සමීපයෙහි වාඩි වෙයි. තම සිරුරට ගැටෙමින් හේත්තු වෙයි. තමා මත්තෙහි ඇද වැටෙයි. හේ ස්ත්‍රිය විසින් සමීප ව හිඳිනු ලබන්නේ, ගැටී හේත්තු වෙනු ලබන්නේ, තමා මත්තෙහි වැටෙනු ලබන්නේ, ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂාවෙහි දුර්වල බව පහළ නොකොට ඒ ස්ත්‍රිය සමඟ අඹුසැමියන් සේ හැසිරෙන්නේ ය. මෙය ඔහුට ලැබෙන ප්‍රහාරය යි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි ද, කොඩි අග දැකීම ඉවසයි ද, සතුරු රණහඬ අසා ඉවසයි ද, එහෙත් ස්වල්ප වූ ප්‍රහාරයකින් කඩා ගෙන වැටෙයි ද, ප්‍රකෘති ස්වභාවය අහිමි වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, සිව්වෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

තව ද මහණෙනි, භික්ෂුව උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි. කොඩියේ අග දැකීම ඉවසයි. සතුරු යුද සේනාවේ රණහඬ ඉවසයි. ස්වල්ප වූ ප්‍රහාරය ඉවසයි. හේ යුද්ධය ජයගන්නේ ය. දිනාගත් යුද්ධය ඇත්තේ සංග්‍රාම භූමියෙහි වාසය කරයි. ඔහුගේ සංග්‍රාම විජය යනු කුමක් ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් කුටියකට ගියේ හෝ වෙයි. ඔහු වෙත පැමිණෙන ස්ත්‍රියක් තමන් සමීපයෙහි වාඩි වෙයි. තම සිරුරට ගැටෙමින් හේත්තු වෙයි. තමා මත්තෙහි ඇද වැටෙයි. එවිට හේ ස්ත්‍රිය විසින් සමීප ව හිඳිනු ලබන්නේ, ගැටී හේත්තු වෙනු ලබන්නේ, තමා මත්තෙහි වැටෙනු ලබන්නේ, ඇයගේ අත් වෙළුම් ගලවා ස්ත්‍රියගේ ග්‍රහණයෙන් මිදී යම් ම තැනකට කැමති සේ යයි.

හේ හුදෙකලා සෙනසුන් ඇසුරු කරයි. අරණ්‍යය, රුක් සෙවණ, පර්වතය, දිය ඇලි, ගිරි ගුහා, සුසාන, වන පෙත, නිදහස් තැන්, පිදුරු කුටි ආදී හුදෙකලා තැන් සේවනය කරයි. හේ අරණ්‍යගත වූයේ හෝ රුක් සෙවණකට ගියේ හෝ හිස් කුටියකට ගියේ හෝ පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා වාඩි වෙයි.

හේ තම ලොවෙහි ඇති ලෝභය අත්හැර ලෝභ රහිත වූ සිතින් වාසය කරයි. සිත ලෝභයෙන් පිරිසිදු කරයි. ද්වේෂයෙන් සිත දූෂිත වීම අත්හැර ද්වේෂ රහිත සිතින් සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය අත්හැර ථීනමිද්ධයෙන් තොර ව ආලෝක සංඥී ව සිහිනුවණින් යුතු ව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරීම ත්, පසුතැවීම ත් අත්හැර නොවිසිරෙන ශාන්ත සිතින් වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර සැකයෙන් එතෙර වූයේ කුසල් දහම් පිළිබඳ කෙසේද කෙසේද යන සැකයෙන් තොරව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

හේ මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා වාසය කරන්නේ වෙයි.

මෙසේ හේ සිත සමාධිමත් වූ කල්හී, පිරිසිදු වූ කල්හී, බබලන කල්හී, උපක්ලේශ නැති කල්හී, උපක්ලේශ රහිත කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය ව මැනැවින් පිහිටා නිශ්චල බවට පත් ව තිබෙන කල්හී ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස සිත යොමු කරයි. හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුක නිරුද්ධ වන මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේවා ආශ්‍රවයෝ යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රවයන්ගේ හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙළ යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි.

මේ අයුරින් දන්නා, මේ අයුරින් දක්නා ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත භවාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත අවිජ්ජාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. කෙලෙසුන්ගෙන් නිදහස් වූ කල්හී නිදහස් වූයේ යැයි ඥානය ඇතිවෙයි. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය සපුරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැතැ’යි දැනගනියි. ඔහුගේ සංග්‍රාමවිජය මෙය යි.

මහණෙනි, ඒ යුද භටයා යම් සේ සංග්‍රාම භූමියෙන් උඩට නැගෙන දුහුවිලි දැකීම ඉවසයි ද, කොඩි අග දැකීම ඉවසයි ද, සතුරු රණහඬ අසා ඉවසයි ද, ස්වල්ප වූ ප්‍රහාරය ඉවසයි ද, යුද්ධය දිනයි ද, දිනාගත් යුද්ධයෙන් යුතුව සංග්‍රාම භූමියෙහි වාසය කරයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ඔහුට උපමා කොට කියමි. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත්තේ ය. මහණෙනි, පස්වෙනි යුද භටයාට උපමා කළ පුද්ගලයා භික්ෂූන් අතරෙහි ද දකින්නට ලැබෙයි.

මහණෙනි, භික්ෂූන් අතර ද පස් වැදෑරුම් යුද භටයන් උපමා කොට ඇති මේ පුද්ගලයෝ පස් දෙනා දකින්නට ලැබෙති.

සාදු! සාදු!! සාදු!!!

පඨම යෝධාජීවූපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M