සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා භික්ෂුවක් තම උපාධ්‍යායන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ තම උපාධ්‍යායන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මාගේ ශරීරයෙහි හටගත් බරක් ඇත්තේ ය. මා බැලිය යුතු දිශාව ද මට නොවැටහෙයි. කුසල් දහම් ද මට නොවැටහෙයි. මාගේ සිත නිදිමතෙන් ද යට කොට සිටියි. කිසි කැමැත්තක් නැති ව ධර්මයෙහි හැසිරෙමි. මට ධර්මය පිළිබඳ ව ත් සැක ඇත්තේ ය.”
ඉක්බිති ඒ භික්ෂුව ඒ සද්ධිවිහාරික භික්ෂුව ද කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මේ භික්ෂුව මෙසේ පවසයි. ‘ස්වාමීනී, මාගේ ශරීරයෙහි හටගත් බරක් ඇත්තේ ය. මා බැලිය යුතු දිශාව ද මට නොවැටහෙයි. කුසල් දහම් ද මට නොවැටහෙයි. මාගේ සිත නිදිමතෙන් ද යට කොට සිටියි. කිසි කැමැත්තක් නැති ව ධර්මයෙහි හැසිරෙමි. මට ධර්මය පිළිබඳ ව ත් සැක ඇත්තේ ය’ යි.”
“භික්ෂුව, ඔහොම වෙනවා නොවැ. ඉන්ද්‍රියයන්හි වසා ගත් දොරටු නැත්නම්, වළඳන ආහාරයෙහි අර්ථය නොදන්නේ නම්, නිදිවරමින් කුසල් වැඩීමට නොවෙහෙසෙයි නම්, කුසල ධර්මයන් නොදකියි නම්, රාත්‍රී පෙරයම – පශ්චිම යාමයෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගැනීමට නොවෙහෙසෙයි නම්, යම් හෙයකින් එබන්ඳහුගේ කය හටගත් බර ඇත්තේ ම ය. බැලිය යුතු දිශාව ද නොපෙනේ ම ය. ධර්මයත් නොවැටහෙන්නේ ම ය. නිදිමතෙන් සිත මැඬගෙන සිටින්නේ ම ය. නොකැමැත්තෙන් බඹසර වසන්නේ ම ය. ධර්මයන් පිළිබඳ සැක ඇතිවන්නේ ම ය.
එහෙයින් භික්ෂුව ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරින් ය. ‘ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තෙක් වන්නෙමි. වළඳන දානයෙහි අර්ථය දැනගන්නෙමි. නිදිවරා වෙහෙසී කුසල් වඩන්නෙමි. කුසල් දහම් මැනැවින් හඳුනාගන්නෙමි. පෙරයම – පැසුළුයම බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්නට වෙහෙසෙන්නෙමි’ යි. භික්ෂුව, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරින් ය.”
එකල්හී ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරනු ලැබුවේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට පැදකුණු කොට පිටත් ව ගියේ ය.
ඉක්බිති ඒ භික්ෂුව හුදෙකලා වූයේ ය. අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන්නේ යම් කරුණක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය නොබෝ කලකින් ම මේ ජීවිතයේ දී තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට වාසය කළේ ය. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමා කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අන් දෙයක් නැතැ’ යි දැනගත්තේ ය. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූයේ ය.
එකල්හී අරහත්වයට පත් ඒ භික්ෂුව තම උපාධ්‍යායන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ උපාධ්‍යායන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මාගේ ශරීරයෙහි හටගත් බරක් නැත්තේ ය. මා බැලිය යුතු දිශාව ද මට වැටහෙයි. කුසල් දහම් ද මට වැටහෙයි. මාගේ සිත නිදිමතෙන් යට කොට නොසිටියි. කැමැත්තෙන් යුතු ව ධර්මයෙහි හැසිරෙමි. මට ධර්මය පිළිබඳ ව සැක නැත්තේ ය.”
ඉක්බිති ඒ භික්ෂුව ඒ සද්ධිවිහාරික භික්ෂුව ද කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මේ භික්ෂුව මෙසේ පවසයි. ‘ස්වාමීනී, මාගේ ශරීරයෙහි හටගත් බරක් නැත්තේ ය. මා බැලිය යුතු දිශාව ද මට වැටහෙයි. කුසල් දහම් ද මට වැටහෙයි. මාගේ සිත නිදිමතෙන් යට කොට නොසිටියි. කැමැත්තෙන් යුතු ව ධර්මයෙහි හැසිරෙමි. මට ධර්මය පිළිබඳ ව සැක නැත්තේ යැ’යි.”
“භික්ෂුව, ඔහොම වෙනවා නොවැ. ඉන්ද්‍රියන්හි වසා ගත් දොරටු ඇත්නම්, වළඳන ආහාරයෙහි අර්ථය දන්නේ නම්, නිදිවරමින් කුසල් වැඩීමට වෙහෙසෙයි නම්, කුසල ධර්මයන් දකියි නම්, රාත්‍රී පෙරයම – පශ්චිම යාමයෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගැනීමට වෙහෙසෙයි නම්, යම් හෙයකින් එබන්ඳහුගේ කය හටගත් බර නැත්තේ ම ය. බැලිය යුතු දිශාව ද පෙනේ ම ය. ධර්මයත් වැටහෙන්නේ ම ය. නිදිමතෙන් සිත මැඬගෙන නොසිටින්නේ ම ය. කැමැත්තෙන් බඹසර වසන්නේ ම ය. ධර්මයන් පිළිබඳ සැක නැතිවන්නේ ම ය.
එහෙයින් මහණෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරින් ය. ‘ඉන්ද්‍රියන්හි වැසූ දොරටු ඇත්තෙක් වන්නෙමු. වළඳන දානයෙහි අර්ථය දැනගන්නෙමු. නිදිවරා වෙහෙසී කුසල් වඩන්නෙමු. කුසල් දහම් මැනැවින් හඳුනාගන්නෙමු. පෙරයම – පැසුළුයම බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්නට වෙහෙසෙන්නෙමු’ යි. මහණෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරින් ය.”
සාදු! සාදු!! සාදු!!!
උපජ්ඣාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M