අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.1.5. මාතාපුත්ත සුත්තං

5.2.1.5. මව හා පුතු ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සැවැත් නුවර භික්ෂුවක් වූ පුත්‍රයා ත්, භික්ෂුණියක් වූ මෑණියනුත් වස් සමාදන් වූහ.

ඔවුහු එකිනෙකා නිතර දකින්නට කැමති ව සිටියහ. මව් ද නිතර පුතු දකින්නට කැමති ව සිටියා ය. පුත්‍රයා ද නිතර මව් දකින්නට කැමති ව සිටියේය. මොවුන්ගේ නිතර දැකීම හේතුවෙන් බැඳීමක් හටගත්තේ ය. බැඳීම හටගැනීම හේතුවෙන් විශ්වාසයක් ඇති වූයේ ය. විශ්වාසය ඇතිවීම හේතුවෙන් කාමරාගයෙහි සිත බැසගත්තේ ය. ඔවුහු කාමරාගයේ බැසගත් සිත් ඇති ව ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂා ව රැකීමෙහි දුර්වල බව නොපවසා අඹුසැමියන් ලෙස හැසිරුණාහ.

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, මෙහි සැවැත් නුවර භික්ෂුවක් වූ පුත්‍රයා ත්, භික්ෂුණියක් වූ මෑණියනුත් වස් සමාදන් වූහ. ඔවුහු එකිනෙකා නිතර දකින්නට කැමති ව සිටියහ. මව් ද නිතර පුතු දකින්නට කැමති ව සිටියා ය. පුත්‍රයා ද නිතර මව් දකින්නට කැමති ව සිටියේය. මොවුන්ගේ නිතර දැකීම හේතුවෙන් බැඳීමක් හටගත්තේ ය. බැඳීම හටගැනීම හේතුවෙන් විශ්වාසයක් ඇති වූයේ ය. විශ්වාසය ඇතිවීම හේතුවෙන් කාමරාගයෙහි සිත බැසගත්තේ ය. ඔවුහු කාමරාගයේ බැසගත් සිත් ඇති ව ශික්ෂාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂා ව රැකීමෙහි දුර්වල බව නොපවසා අඹුසැමියන් ලෙස හැසිරුණාහ.”

“කිම? මහණෙනි, ඒ හිස් පුරුෂයා මව පුතා කෙරෙහි ත් රාගයෙන් නොඇලෙන බව හෝ පුතා මව කෙරෙහි රාගයෙන් නොඇලෙන බව හෝ නොහඟියි ද?

මහණෙනි, යම් රූපයක් මෙබඳු වූ කෙලෙස් හටගන්නා සුළු වෙයි ද, මෙබඳු වූ කැමැත්ත හටගන්නා සුළු වෙයි ද, මෙබඳු වූ මත්වීමකට පැමිණෙන සුළු වෙයි ද, මෙබඳු වූ බැඳීමකට සිර වෙන සුළු වෙයි ද, මෙබඳු වූ මුසපත් බවකට පත්වෙන සුළු වෙයි ද, මෙබඳු වූ අනුත්තර වූ අරහත්වයට අන්තරායකර වෙයි ද, මහණෙනි, යම් මේ ස්ත්‍රී රූපය බඳු වෙනත් එක රූපයක් වත් මම නුවණැසින් නොදකිමි. මහණෙනි, ස්ත්‍රී රූපයෙහි ඇලුණු, එහි ගිජු වූ, එහි ගැලුණු, එහි මුසපත් වූ, එහි බැසගත් සත්වයෝ වෙත් ද, ඔවුහු ස්ත්‍රී රූපයෙහි වසඟයට පත් ව බොහෝ කල් ශෝක කරති.

මහණෙනි, යම් ශබ්දයක් ….(පෙ)…. යම් ගන්ධයක් ….(පෙ)…. යම් රසයක් ….(පෙ)…. යම් පහසක් මෙබඳු වූ කෙලෙස් හටගන්නා සුළු වෙයි ද, මෙබඳු වූ කැමැත්ත හටගන්නා සුළු වෙයි ද, මෙබඳු වූ මත්වීමකට පැමිණෙන සුළු වෙයි ද, මෙබඳු වූ බැඳීමකට සිර වෙන සුළු වෙයි ද, මෙබඳු වූ මුසපත් බවකට පත්වෙන සුළු වෙයි ද, මෙබඳු වූ අනුත්තර වූ අරහත්වයට අන්තරායකර වෙයි ද, මහණෙනි, යම් මේ ස්ත්‍රී පහස බඳු වෙනත් එක පහසක් වත් මම නුවණැසින් නොදකිමි. මහණෙනි, ස්ත්‍රී පහසෙහි ඇළුණු, එහි ගිජු වූ, එහි ගැළුණු, එහි මුසපත් වූ, එහි බැසගත් සත්වයෝ වෙත් ද, ඔවුහු ස්ත්‍රී පහසෙහි වසඟයට පත් ව බොහෝ කල් ශෝක කරති.

මහණෙනි, ස්ත්‍රිය ගමන් කරන්නී ද පුරුෂයාගේ සිත යටකොට සිටියි. ස්ත්‍රිය සිටගෙන සිටින්නී ද, වාඩිවී සිටින්නී ද, සැතැපී සිටින්නී ද, සිනහ සෙන්නී ද, තෙපලන්නී ද, ගයන්නී ද, හඬන්නී ද, මිය ගියා ද, ඉදිමී සිටින්නී ද, පුරුෂයාගේ සිත යටකොට සිටියි. මහණෙනි, යමක් අරභයා හාත්පසින් වටකරගත් මාරයාගේ මර උගුල යැයි මැනැවින් කිව යුත්තේ නම් එසේ කිව යුත්තේ ස්ත්‍රිය අරභයා ය.

(ගාථා)

1. කඩුවක් අතින් ගත් කෙනෙකු හා ද කතා බස් කළාට කම් නැත. පිශාචයෙකු හා කතා බස් කළාට කම් නැත. යම් සර්පයෙකු විසින් දෂ්ට කරනු ලද්දේ ජීවත් නොවෙයි ද, එබඳු ඝෝර විෂ ඇති සර්පයෙකු හා ගැටුණ ද කම් නැත.

2. හුදෙකලාව තනිව ම ස්ත්‍රියක හා කතා නොකළ යුත්තේ ය. සිහි මුළා වූ තැනැත්තා විසින් ස්ත්‍රියගේ බැල්මෙන් ද, සිනහවෙන් ද බැඳී යන්නේ ය.

3. එමෙන් ම නොමනා ලෙස හැඳ පැළඳ ගත් මිහිරි වදන් තෙපළන ඔවුහු ජනයා ව සිර කර ගනිති. මේ ස්ත්‍රීහු මිය ගිය නමුත්, ඉදිමුණු නමුත් ගැටෙන්නට නුසුදුසු ය.

4. මනෝරම්‍ය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාමගුණයන් ස්ත්‍රී රූපයෙහි දකින්නට ලැබේ.

5. කාමය නම් වූ බිහිසුණු සැඩ පහරින් ඇදගෙන යනු ලබන කාමයන්ගේ සැබෑ තතු නොදන්නා වූ ඔවුන්ගේ සංසාරයෙහි කාලය ද භවයෙන් භවය ඉපිද ඉපිද යාමට පෙරටු කොට ඇත්තාහ.

6. යම් කෙනෙක් කාමයන්ගේ සැබෑ තතු අවබෝධ කොට කිසි ලෙසකිනුත් බිය රහිත ව හැසිරෙත් ද, යම් කෙනෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වයට පත්වූවාහු ද, ඔවුහු ඒකාන්තයෙන් ම ලෝකයෙන් එතෙර වූවාහු ය.

සාදු! සාදු!! සාදු!!!

මාතාපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M