සැවැත් නුවර දී ය……
මහණෙනි, ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි මේ කරුණු පසකි. ඒ කවර පසක් ද යත්;
(1). ‘ජරාජීර්ණ වන ස්වභාවයට පත්වන දෙය ජරාජීර්ණ බවට පත් නොවේවා’ යි ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි කරුණකි. (2). ‘රෝග වැළඳෙන ස්වභාවයට අයත් දෙය රෝගී බවට පත් නොවේවා’ යි ….(පෙ)…. (3). ‘මැරෙන ස්වභාවයට අයත් දෙය මරණයට පත් නොවේවා’ යි ….(පෙ)…. (4). ‘ගෙවීයන ස්වභාවයට අයත් දෙය ගෙවී නොයාවා’ යි ….(පෙ)…. (5). ‘නැසෙන ස්වභාවයට අයත් දෙය නොනැසේවා’ යි ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි කරුණකි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට ද ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන්නේ ය. හෙතෙම ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන කල්හී මෙලෙස නුවණින් සිහි නොකරයි. ‘ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වෙයි. ජරාජීර්ණ වන දෙය ජරාජීර්ණ වන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ නොසිතන හේ ජරාජීර්ණ බවට පත්වන දෙය ජරාජීර්ණ වන කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. මුළාවට පත්වෙයි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයා ශෝකය නැමැති විෂ සහිත හුලින් විදිනා ලද්දේ තමන් ව ම පීඩාවට පත් කරගන්නේ යැයි කියනු ලැබේ.
තව ද මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට ද රෝගී වන ස්වභාවයෙන් යුතු දෙය රෝගී වන්නේ ය. ….(පෙ)…. මැරී යන ස්වභාවයෙන් යුතු දෙය මැරෙන්නේ ය. ….(පෙ)…. ගෙවී යන ස්වභාවයෙන් යුතු දෙය ගෙවෙන්නේ ය. ….(පෙ)…. නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන්නේ ය. හෙතෙම නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන කල්හී මෙලෙස නුවණින් සිහි නොකරයි. ‘නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යයි. නැසෙන දෙය නැසී යන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ නොසිතන හේ නැසෙන දෙය නැසෙන කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. මුළාවට පත්වෙයි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයා ශෝකය නමැති විෂ සහිත හුලින් විදිනා ලද්දේ තමන් ව ම පීඩාවට පත් කරගන්නේ යැයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ද ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන්නේ ය. හෙතෙම ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන කල්හී මෙලෙස නුවණින් සිහි කරයි. ‘ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වෙයි. ජරාජීර්ණ වන දෙය ජරාජීර්ණ වන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම් ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ සිතන හේ ජරාජීර්ණ බවට පත්වන දෙය ජරාජීර්ණ වන කල්හී ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. මුළාවට පත් නොවෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ශෝකය නැමැති විෂ සහිත හුලෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා ව පීඩාවට පත් කරයි නම් ඒ විෂ සහිත ශෝක හුල උදුරා දැමුවේ ය යැයි කියනු ලැබේ. ශෝක රහිත වූයේ හුල බැහැර කරන ලද්දේ ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ජීවිතය පිරිනිවීමට පත් කරවයි.
තව ද මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා හට ද රෝගී වන ස්වභාවයෙන් යුතු දෙය රෝගී වන්නේ ය. ….(පෙ)…. මැරී යන ස්වභාවයෙන් යුතු දෙය මැරෙන්නේ ය. ….(පෙ)…. ගෙවී යන ස්වභාවයෙන් යුතු දෙය ගෙවෙන්නේ ය. ….(පෙ)…. නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන්නේ ය. හෙතෙම නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන කල්හී මෙලෙස නුවණින් සිහි කරයි. ‘නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යයි. නැසෙන දෙය නැසී යන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ සිතන හේ නැසෙන දෙය නැසෙන කල්හී ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. මුළාවට පත් නොවෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ශෝකය නමැති විෂ සහිත හුලෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා ව පීඩාවට පත් කරයි නම් ඒ විෂ සහිත ශෝක හුල උදුරා දැමුවේ ය යැයි කියනු ලැබේ. ශෝක රහිත වූයේ හුල බැහැර කරන ලද්දේ ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ජීවිතය පිරිනිවීමට පත් කරවයි.
මහණෙනි, ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැක්කේ මේ කරුණු පස යි.
(ගාථා)
1. ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සංතෝෂයට පත්වෙති.
2. යම් කලක අර්ථ විනිශ්චයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත්වෙති.
3. ජප කිරීමෙන් ද, මන්ත්‍රයෙන් ද, සත්පුරුෂ වචනයෙන් ද, පිළිවෙළින් දෙන දානයෙන් ද, පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයෙන් ද යම් යම් අයුරකින් යම් ආපදාවක දී යහපත ලැබෙයි නම් ඒ ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීර්යය කරන්නේ ය.
4. ඉදින් මා විසිනුත් අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නොලැබිය හැකි යැයි දන්නේ නම් ශෝක නොකොට ඉවසිය යුත්තේ ය. ‘කර්මය දැඩි වූ දෙයකි. දැන් කුමක් කරම් දැ’යි.
සාදු! සාදු!! සාදු!!!
අලබ්භනීය ඨාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M