අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.5.7. පඤ්ච ධන සුත්තං

5.1.5.7. පස් වැදෑරුම් ධනය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………

මහණෙනි, මේ ධන පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා ධනය ය, සීල ධනය ය, ශ්‍රැත ධනය ය, ත්‍යාග ධනය ය, ප්‍රඥා ධනය ය.

මහණෙනි, ශ්‍රද්ධා ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සැදැහැවතෙක් වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා ධනය යැයි කියනු ලැබේ.

මහණෙනි, සීල ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. මත්වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙය සීල ධනය යැයි කියනු ලැබේ.

මහණෙනි, ශ්‍රැත ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බහුශ්‍රැත වූයේ වෙයි. (යම් ඒ ධර්මයෝ ….(පෙ)…. මුළුමනින් ම පිරිපුන් බඹසර ප්‍රකාශ කරත් ද එබඳු වූ ධර්මයෝ ඔහු විසින්) ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, මෙය ශ්‍රැත ධනය යැයි කියනු ලැබේ.

මහණෙනි, ත්‍යාග ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බැහැර කළ මසුරු මල ඇතිව ගිහි ගෙයි වසන්නේ වෙයි. දන් දීම පිණිස අත්හළේ වෙයි. දන් දීම පිණිස සෝදා ගත් අත් ඇත්තේ වෙයි. දන් දීමෙහි ඇලුණේ වෙයි. ඔහුගෙන් ඉල්ලීමට සුදුසු වෙයි. දන් බෙදීමෙහි ඇලුණේ වෙයි. මහණෙනි, මෙය ත්‍යාග ධනය යැයි කියනු ලැබේ.

මහණෙනි, ප්‍රඥා ධනය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා ධනය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී ධන පස යි.

(ගාථා)

1. යමෙක් තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව නොසෙල්වෙන පැහැදීමක් මැනැවින් පිහිටා ඇද්ද, යමෙකු හට නැණවතුන් විසින් පසසනු ලබන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් ඇද්ද,

2. යමෙක් තුළ ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද, ඍජු වූ ධර්මාවබෝධයක් ඇද්ද, ඔහු නොදිළින්දෙක් යැයි කියති. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවෙයි.

3. එහෙයින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්, ධර්මාවබෝධය ත් යන මේ කරුණු වලින් යුතු වූ නුවණැත්තා ධර්ම මාර්ගයෙහි යෙදෙමින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්ච ධන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M