අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.3.7. සමාධි සුත්තං

5.1.3.7. සමාධිය ගැන වදාළ දෙසුම

මහණෙනි, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව, මනා සිහියෙන් යුතු ව, අප්‍රමාණ කොට සමාධිය වඩව්. මහණෙනි, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව, මනා සිහියෙන් යුතු ව අප්‍රමාණ කොට සමාධිය වඩන්නහු හට තමා තුළ ම පස් වැදෑරුම් ඥානයෝ උපදින්නාහු ය. ඒ කවර පසක් ද යත්;

1. ‘මේ සමාධිය මේ ජීවිතයේ දී සැපය ඇති කරන්නේ ද වෙයි. අනාගතයෙහි සැප විපාක ලබා දෙන්නේ ද වෙයි’ යනුවෙන් තමා තුළ ම ඥානයක් උපදින්නේය.

2. ‘මේ සමාධිය ආර්ය වූ නිරාමිස දෙයකි’ යි යනුවෙන් තමා තුළ ම ඥානයක් උපදින්නේය.

3. ‘මේ සමාධිය ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසින් සේවනය කරන ලද දෙයකි’ යි යනුවෙන් තමා තුළ ම ඥානයක් උපදින්නේය.

4. ‘මේ සමාධිය ශාන්ත වූ දෙයකි. ප්‍රණීත වූ දෙයකි. කෙලෙස් සංසිඳවූවන් විසින් ලබන දෙයකි. චිත්තේකාග්‍රතාවයෙන් ලබන දෙයකි. ක්ලේශ ධර්මයන් නිග්‍රහ කොට උත්සාහයෙන් දුරු නොකිරීමෙන් ලබන දෙයකි’ යි යනුවෙන් තමා තුළ ම ඥානයක් උපදින්නේ ය.

5. ‘ඒ මම් වනාහී සිහියෙන් යුතු ව ම මෙම සමාධියට සමවදිමි. සිහියෙන් යුතු ව ම එයින් නැගිටිමි’ යි යනුවෙන් තමා තුළ ම ඥානයක් උපදින්නේ ය.

මහණෙනි, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව, මනා සිහියෙන් යුතු ව, අප්‍රමාණ කොට සමාධිය වඩව්. මහණෙනි, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව, මනා සිහියෙන් යුතු ව අප්‍රමාණ කොට සමාධිය වඩන්නහු හට තමා තුළ ම මේ පස් වැදෑරුම් ඥානයෝ උපදින්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M