‘මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධිය දියුණු කිරීම ගැන දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.’ ‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධිය දියුණු කිරීම යනු කුමක් ද?
1. මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන් ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ කය ම විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දක්ෂ වූ නහවන්නෙක් වේවා, නහවන්නෙකුගේ අතවැසියෙක් වේවා ලෝහ බඳුනෙහි නහන චූර්ණ දමා දිය ඉස ඉස ඒවා මැනැවින් අනයි ද, ඔහුගේ ඒ නහන සුණු පිඬ වතුරෙහි තෙත් ගතිය අනුව ගියේ වඩ වඩා ත් තෙත් වූයේ එහි ඇතුළ ත්, පිටත ත් දිය උරා ගන්නා ලද්දේ නොවැගිරෙන්නේ වෙයි.
එසෙයින් ම මහණෙනි, භික්ෂුව මේ කය ම විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි. මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධියේ මේ පළමු වෙනි භාවනාව යි.
2. තව ද මහණෙනි, භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතු ව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ඇතුළෙන් එන දිය උල්පත් ඇති දිය විලක් යම්බඳු වෙයි ද, එහි පූර්ව දිශාවෙන් දිය පැමිණෙන මාර්ගයක් නැත්තේ ද, බටහිර දිශාවෙන් ද දිය පැමිණෙන මාර්ගයක් නැත්තේ ද, උතුරු දිශාවෙන් ද දිය පැමිණෙන මාර්ගයක් නැත්තේ ද, දකුණු දිශාවෙන් ද දිය පැමිණෙන මාර්ගයක් නැත්තේ ද, කලින් කල වැස්ස ද මනා ව වැසි දහරා නොපවත්වයි ද, එකල්හී ඒ දිය විල ඉතා සිසිල් වූ උල්පතින් නැගි ඒ සීතල දියෙන් තෙමන්නේ ය. හාත්පසින් තෙමන්නේ ය. පුරවන්නේ ය. හාත්පස පුරවා දමන්නේ ය. ඒ දිය විලෙහි සීත ජලයෙන් ස්පර්ශ නොවුණු කිසි තැනක් නැත්තේ ය.
එසෙයින් ම මහණෙනි, මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි. මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධියේ මේ දෙවෙනි භාවනාව යි.
3. තව ද මහණෙනි, භික්ෂුව ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතු ව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතු ව, සිහියෙන් යුතු ව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ කය ම ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මහනෙල් විලක වේවා, රතු නෙළුම් විලක වේවා, සුදු නෙළුම් විලක වේවා හටගත් ඇතැම් මහනෙල් හෝ රතු නෙළුම් හෝ සුදු නෙළුම් හෝ ඇද්ද, ඒවා ජලයෙහි වැඩී ජලයෙන් උඩට නොපැමිණ දිය තුළ ම ගිලී තිබෙයි ද, එකල්හී ඒ පියුම්වල අග පටන් මුල දක්වා සිහිල් දියෙන් තෙමී, හාත්පසින් තෙමී, පිරිපුන් ව තෙමී, හාත්පසින් මැනැවින් තෙමී ඇද්ද, එහි ඒ සියළු මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා වතුරෙන් හාත්පස වෙලා නොගත් කිසි මලක් නොවෙයි ද,
එසෙයින් මහණෙනි, හේ මේ කය ම ප්‍රීති රහිත සුඛයෙන් තෙත් කරයි. හාත්පස තෙමයි. පිරිපුන් කරයි. හාත්පසින් පුරවයි. ඔහුගේ කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි. මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධියේ මේ තෙවෙනි භාවනාව යි.
4. තව ද මහණෙනි, භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ කය ම පිරිසිදු බබලන සිතින් පතුරුවා හිඳින්නේ වෙයි. ඔහුගේ කයෙහි පිරිසිදු බබලන සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් සුදු වස්ත්‍රයකින් හිස පටන් මුළු සිරුර වසා පොරොවා හිඳින්නේ වෙයි ද, එවිට ඔහුගේ කයෙහි සෑම තැන ම සුදු වස්ත්‍රයෙන් වැසුණේ ස්පර්ශ නොකළ තැනක් නැත්තේ ය.
එසෙයින් මහණෙනි, හේ මේ කය ම පිරිසිදු බබලන සිතින් පතුරුවා හිඳින්නේ වෙයි. ඔහුගේ කයෙහි පිරිසිදු බබලන සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැත්තේ වෙයි. මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධියේ මේ සිව්වෙනි භාවනාව යි.
5. තව ද මහණෙනි, භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත මැනැවින් ගන්නා ලද්දේ වෙයි. මැනැවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මැනැවින් පිහිටුවා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කෙනෙක් තව කෙනෙක් පිළිබඳ ව විමසා බලන්නේ ද, සිටගෙන සිටින්නා වාඩි වී සිටින කෙනෙකු විමසා බලන්නේ ද, වාඩි වී සිටින්නා සැතපී සිටින කෙනෙකු විමසා බලන්නේ ද,
එසෙයින් ම මහණෙනි, භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත මැනැවින් ගන්නා ලද්දේ වෙයි. මැනැවින් මෙනෙහි කරන ලද්දේ වෙයි. මැනැවින් පිහිටුවා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි. මහණෙනි, අංග පසකින් යුතු ආර්ය වූ සම්මා සමාධියේ මේ පස්වෙනි භාවනාව යි.
මහණෙනි, මෙසේ දියුණු කරගත් අංග පසකින් යුතු ආර්ය සම්මා සමාධිය තුළ මෙසේ බහුල කරගත් කල්හී විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයන් ගැන විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කරන්නේ වෙයි ද, ඒ ඒ කරුණු පිළිබඳ ව ඒ ඒ ඥානය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමට නිසි සමර්ථභාවය ලබන්නේ වෙයි. මහණෙනි, එය මෙබඳු දෙයකි. ආධාරකයක් මත තැබූ දිය සැළිය පිරී ගියේ ජලය මුවවිට හා සම වූයේ කපුටන්ට ද පහසුවෙන් පානය කළ හැකි වූයේ වෙයි ද, එකල්හී බලවත් පුරුෂයෙක් ඒ දිය සැළිය යම් යම් පෙදෙසකට ඇල කරන්නේ වෙයි ද, ඒ ඒ පෙදෙසින් දිය ගලන්නේ ද?” “එසේ ය, ස්වාමීනී.”
“එසෙයින් ම මහණෙනි, භික්ෂුව මෙසේ දියුණු කරගත් අංග පසකින් යුතු ආර්ය සමාධිය තුළ මෙසේ බහුල කරගත් කල්හී විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයන් ගැන විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කරන්නේ වෙයි ද, ඒ ඒ කරුණු පිළිබඳ ව ඒ ඒ ඥානය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමට නිසි සමර්ථභාවය ලබන්නේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. සම වූ භූමිභාගයක සතරැස් වූ බැම්ම බැඳි පොකුණක මුළුමනින් ම දිය පිරී ඇද්ද, මුවවිට තෙක් පිරී ඇද්ද, කපුටන් හට සුව සේ පානය කළ හැකි සේ ඇද්ද, එකල්හී බලවත් පුරුෂයෙක් පැමිණ යම් යම් තැනකින් බැම්ම බිඳියි නම් ඒ ඕනෑම තැනකින් දිය ගලනවා නේද?” “එසේ ය, ස්වාමීනී.”
“එසෙයින් ම මහණෙනි, භික්ෂුව මෙසේ දියුණු කරගත් අංග පසකින් යුතු ආර්ය සමාධිය තුළ මෙසේ බහුල කරගත් කල්හී විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයන් ගැන විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කරන්නේ වෙයි ද, ඒ ඒ කරුණු පිළිබඳ ව ඒ ඒ ඥානය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමට නිසි සමර්ථභාවය ලබන්නේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. සම බිමක සිව්මංසලක ආජානේය අශ්වයන් යෙදූ රථයක් ගමනට සුදුසු කොට කෙවිට ද පසෙකින් තබා සූදානම් ව ඇත්තේ වී ද එකල්හී දක්ෂ වූ අසුන් හික්මවීමෙහි සමර්ථ වූ රථාචාර්යවරයෙක් නැග වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන යම් දිශාවක කැමති මගකින් වේගයෙන් යන්නේ ද වෙයි. ආපසු එන්නේ ද වෙයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව මෙසේ දියුණු කරගත් අංග පසකින් යුතු ආර්ය සමාධිය තුළ මෙසේ බහුල කරගත් කල්හී විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයන් ගැන විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත නැඹුරු කරන්නේ වෙයි ද, ඒ ඒ කරුණු පිළිබඳ ව ඒ ඒ ඥානය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීමට නිසි සමර්ථභාවය ලබන්නේ වෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘අනේකවිධ ඉර්ධි ප්‍රාතිහාර්යයන් අත්දකින්නෙමි. තනි කෙනෙක් ව සිට බොහෝ අය වන්නෙමි. ….(පෙ)…. බ්‍රහ්මලෝකය දක්වා කයින් වසඟයෙහි පවත්වන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘සාමාන්‍ය මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුතුව දිව්‍ය වූ ද, මානුෂීය වූ ද ඉතා දුර ඇත්තා වූ ත් ළඟ ඇත්තා වූ ත් ශබ්දයන් අසන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නෙම් නම්, එනම් සරාගී සිත සරාගී සිතක් ය කියා දැනගන්නෙම් නම් ….(පෙ)…. විමුක්ති සිත විමුක්ති සිතක් ය කියා දැනගන්නෙම් ද, අවිමුක්ත සිත අවිමුක්ත සිතක් යැයි දැනගන්නෙම් දැ’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘අනේකප්‍රකාරයෙන් පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නෙමි යි. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද ….(පෙ)…. මෙසේ ආකාර සහිත වූ, විස්තර සහිත වූ නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘මිනිස් ඇසින් දකින සීමා ඉක්මවා ගිය දිවැසින් ….(පෙ)…. කර්මානුරූප ව උපදින මියයන සත්වයන් දැනගන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
ඉදින් හේ කැමති වෙයි නම් ‘ආශ්‍රවයන් ක්ෂය වීමෙන් (අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත්) ….(පෙ)…. සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙමි’ යි. ඒ ඒ තන්හි ඒ ඒ ඥානය අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමෙහිලා සමර්ථ භාවය ඇතිවෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඤ්චංගික සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M