මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති මේ තැන් පසකි. ඒ කවර පසක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා කරති.
මහණෙනි, ඒ භික්ෂුවට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ යම් යම් අයුරින් ධර්මය දේශනා කරත් ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව එසමයෙහි ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති පළමු විමුත්තායතනය මෙය යි.
2. තව ද මහණෙනි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි.
මහණෙනි, භික්ෂුව යම් අයුරින් අසන ලද්දේ ද, පිරිවහන ලද්දේ ද, ඒ ධර්මය දේශනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව එසමයෙහි ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති දෙවන විමුත්තායතනය මෙය යි.
3. තව ද මහණෙනි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද, ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි.
මහණෙනි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව එසමයෙහි ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති තුන්වන විමුත්තායතනය මෙය යි.
4. තව ද මහණෙනි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි කරයි. නැවත නැවත විචාරයි. නුවණින් විමසයි.
මහණෙනි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි කරයි ද, නැවත නැවත විචාරයි ද, නුවණින් විමසයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව එසමයෙහි ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති සිව්වෙනි විමුත්තායතනය මෙය යි.
5. තව ද මහණෙනි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි නොකරයි. නැවත නැවත නොවිචාරයි. නුවණින් නොවිමසයි. වැලිදු එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි. හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි. හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, භික්ෂුව යම් අයුරකින් එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි ද, හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි ද, හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි ද, ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව එසමයෙහි ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇති පස්වෙනි විමුත්තායතනය මෙය යි.
මහණෙනි, යම් තැනක කෙලෙස් තවන වීර්යය ඇති, දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන, අප්‍රමාදී වූ භික්ෂුවගේ නිදහස් නොවූ සිත නිදහස් වෙයි ද, ක්ෂය නොවූ ආශ්‍රවයෝ ක්ෂය වී යත් ද, නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නේ ද, එසේ දුකින් නිදහස් වීමට ඇත්තේ මේ තැන් පස යි.
සාදු! සාදු!! සාදු!!!
විමුත්තායතන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M