අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.2.4. බල විත්ථත සුත්තං

5.1.2.4. විස්තර වශයෙන් බල ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බල පසකි. ඒ කවර පසක් ද යත්;

ශ්‍රද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, ප්‍රඥා බලය ය යනුවෙනි.

මහණෙනි, ශ්‍රද්ධා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තෙක් වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, විරිය බලය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම්හි නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය විරිය බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, සති බලය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු වූ උතුම් සිහියෙන් යුතුව බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර පැවසූ දෑ ත් සිහි කරන්නේ වෙයි. මැනැවින් සිහි කරන්නේ වෙයි. මහණෙනි, මෙය සති බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, සමාධි බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් ව, ….(පෙ)…. (ප්‍රථම ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. ) සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙය සමාධි බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී පංච බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

බල විත්ථත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M