අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.1.8. චවන සුත්තං

5.1.1.8. චුතවීම ගැන වදාළ දෙසුම

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, ශ්‍රද්ධා රහිත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව නැති භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය නැති භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. මහණෙනි, කුසීත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි. මහණෙනි, ප්‍රඥාව රහිත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව නිවන් මගින් චුත වෙයි. සද්ධර්මය තුළ නොපිහිටයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, ශ්‍රද්ධාවන්ත වූ භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව ඇති භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. මහණෙනි, කුසල් දහම් පිරිහීම ගැන භය ඇති භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. මහණෙනි, පටන්ගත් වීරිය ඇති භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි. මහණෙනි, ප්‍රඥාවන්ත වූ භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව නිවන් මගින් චුත නොවෙයි. සද්ධර්මය තුළ පිහිටයි.

සාදු! සාදු!! සාදු!!!

චවන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M