මහණෙනි, බොහෝ සෙයින් ම සත්වයෝ කාමයන්හි දැඩි ලෙස ඇලී වාසය කරති. මහණෙනි, කුලපුත්‍රයෙක් තණ කපන දෑකැත්ත හා තණ කද බැහැර කොට ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වෙයි ද, ඔහුට ‘ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුත්‍රයා’ ය යනුවෙන් පවසන්නට සුදුසු ය. එයට හේතුව කුමක් ද යත්? මහණෙනි, තරුණ අවදියෙහි කාමයෝ ලැබෙති. ඒ කාමයෝ ද එක එක අයුරු ව තිබෙති. මහණෙනි, දිළින්දන්ගේ යම් හීන වූ කාමයෝ ද ඇත්තාහු ය. මධ්‍යම පන්තිකයන්ගේ යම් මධ්‍යම වූ කාමයෝ ද ඇත්තාහු ය. උසස් පන්තිකයන්ගේ යම් ප්‍රණීත වූ කාමයෝ ද ඇත්තාහු ය. මේ සියල්ල ‘කාම’ යන සංඛ්‍යාවට අයත් ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. උඩුකුරු ව නිදන බොළඳ ළදරුවෙක් කිරි මවගේ ප්‍රමාදයෙන් ලී කැබැල්ලක් හෝ වෙනත් කැබැලිත්තක් හෝ මුවෙහි දමා ගන්නේ නම් ඒ කිරි මව වහ වහා එකරුණ සිහි කරයි. වහ වහා එය සිහි කොට වහ වහා ඒ දරුවාගේ මුවින් එය බැහැර කරයි. ඉදින් වහ වහා එය බැහැර කරගත නොහැක්කී නම් වම් අතින් ඒ දරුවාගේ හිස දැඩි ව අල්ලාගෙන දකුණු අතින් ඇඟිලි වකුටු කොට ලේ ගලන්නේ නමුත් එය මුඛයෙන් බැහැර කරන්නී ය. මක් නිසාද යත්, මහණෙනි, මේ දරුවා හට මෙහි පීඩාවක් ඇත්තේ ම ය. එය නැතැයි නොකියමි. මහණෙනි, දරුවාගේ යහපත කැමති, හිත කැමති, අනුකම්පා ඇති කිරි මව විසින් අනුකම්පාව උපදවා එය කළ යුත්තේ ම ය.
මහණෙනි, යම් කලෙක පටන් ඒ දරු තෙම වැඩුණේ වෙයි ද, ප්‍රඥාවන්ත යැයි කිව හැක්කේ වෙයි ද, මහණෙනි, එකල්හී කිරි මව ඒ දරුවා කෙරෙහි කලින් තිබූ අවධානය ලිහිල් කරන්නී වෙයි. ‘දැන් දරුවා තමා ම රැකෙන අයුරු දනියි. ප්‍රමාදයට නොනිසි ය’ යි.
මහණෙනි, එසෙයින් ම භික්ෂුව විසින් කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව ලැජ්ජාවෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව භයෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව වීරියෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාවෙන් කළ යුතු දෙය යම්තාක් නොකරන ලද්දේ වෙයි ද, මහණෙනි, ඒ තාක් ම ඒ භික්ෂුව මා විසින් රැකිය යුත්තේ ය.
මහණෙනි, යම් කලක භික්ෂුව විසින් කුසල් දහම් පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව ලැජ්ජාවෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව භයෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව වීරියෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද, කුසල් දහම් පිළිබඳ ව ප්‍රඥාවෙන් කළ යුතු දෙය කරන ලද්දේ වෙයි ද, මහණෙනි, එකල්හී මම ඒ භික්ෂුව කෙරෙහි කලින් තිබූ අවධානය මා තුළින් ලිහිල් කරමි. ‘දැන් මේ භික්ෂුව තමා ම රැකෙන අයුරු දනියි. ප්‍රමාදයට නොනිසි ය’ යි.
සාදු! සාදු!! සාදු!!!
කාමේසුපලාළිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M