සැවැත් නුවර දී ය ……..
මහණෙනි, දහමෙහි හික්මෙන්නහුගේ මේ සේඛ බලයෝ පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා බලය ය, හිරි බලය ය, ඔත්තප්ප බලය ය, විරිය බලය ය, ප්‍රඥා බලය ය යනුවෙනි.
මහණෙනි, ශ්‍රද්ධා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තෙක් වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, හිරි බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ලැජ්ජා ඇත්තේ වෙයි. කාය දුෂ්චරිතයෙහි යෙදීමට ත්, වචී දුෂ්චරිතයෙහි යෙදීමට ත්, මනෝ දුෂ්චරිතයෙහි යෙදීමට ත් ලැජ්ජා ඇත්තේ වෙයි. පාපී අකුසල් දහම් තමා තුළ ඇතිවීම ගැන ලැජ්ජාවට පත්වෙයි. මහණෙනි, මෙය හිරි බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, ඔත්තප්ප බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා භය ඇත්තේ වෙයි. කාය දුෂ්චරිතයෙහි යෙදීමට ත්, වචී දුෂ්චරිතයෙහි යෙදීමට ත්, මනෝ දුෂ්චරිතයෙහි යෙදීමට ත් භය ඇත්තේ වෙයි. පාපී අකුසල් දහම් තමා තුළ ඇතිවීම ගැන භයට පත්වෙයි. මහණෙනි, මෙය ඔත්තප්ප බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, විරිය බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම්හි නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය විරිය බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හේතුඵල දහමින් හටගත් සියල්ල පිළිබඳව හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී පංච සේඛ බලයෝ ය.
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘ශ්‍රද්ධා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. හිරි බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. ඔත්තප්ප බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. විරිය බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු. ප්‍රඥා බලය නම් වූ සේඛ බලයෙන් සමන්විත වන්නෙමු’ යි. මහණෙනි, ඔබ ඔය අයුරින් ම හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සේඛ බල විත්ථත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M