එකල්හී ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා දැන හුදෙකලාව තනි ව වාසය කරමින් අප්රමාදී ව කෙලෙස් තවන වීර්යය ඇති කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරන්නෙම් ද, මා හට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මයක් දේශනා කරන සේක් නම් මැනැවි.”
“මාලුංක්‍යපුත්ත, එසේ නම් දැන් තරුණ භික්ෂූන්ට කුමක් කියම් ද? එහිලා දිරා ගිය, වයෝවෘද්ධ, මහළු වූ, ඔබ ත් තථාගතයන්ගෙන් සංක්ෂේප වූ අවවාදයක් ඉල්ලනවා නොවැ.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මයක් දේශනා කරන සේක්වා ! සුගතයන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මයක් දේශනා කරන සේක්වා! භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයෙහි අර්ථය දැනගන්නෙම් නම් මැනැව. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනැව.”
“මාලුංක්‍යපුත්ත, යම් තැනක භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ මේ තෘෂ්ණාව උපදින කරුණු සතරේ ය. ඒ කවර කරුණු සතරක් ද යත්;
මාලුංක්‍යපුත්ත, භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ චීවර හෝ හේතු කොට ගෙන ය. මාලුංක්‍යපුත්ත, භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ දානය හෝ හේතු කොට ගෙන ය. මාලුංක්‍යපුත්ත, භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ කුටි සෙනසුන් හෝ හේතු කොට ගෙන ය. මාලුංක්‍යපුත්ත, භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ මෙසේ ඇති නැති කරුණු හෝ හේතු කොට ගෙන ය.
මාලුංක්‍යපුත්ත, යම් තැනක භික්ෂුව තුළ තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ මේ තෘෂ්ණාව උපදින කරුණු සතරේ ය.
මාලුංක්‍යපුත්ත, යම් කලෙක භික්ෂුව තුළ තෘෂ්ණාව ප්‍රහීණ වූයේ වෙයි ද, මුලින් ම සිඳී ගියේ වෙයි ද, කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ ද, අභාවයට පත් වූයේ ද, යළි නූපදින ස්වභාවයට පත්වූයේ ද, මාලුංක්‍යපුත්ත මේ භික්ෂුව තෘෂ්ණාව සිඳ දැම්මේ ය. සංයෝජනයන් කණපිට පෙරළුවේ ය. මනා අවබෝධයෙන් මාන්නය දුරු කළේ ය. දුක් නිමාවකට පත් කළේ යැයි කියනු ලැබේ.”
එකල්හී ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද මේ අවවාදයෙන් යුක්ත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියහ. ඉක්බිති ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරණුවෝ හුදෙකලාව තනි ව වසමින් අප්රමාදී ව කෙලෙස් තවන වීර්යය ඇති ව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරන්නේ කුලපුත්‍රයෝ යම් කරුණක් අරභයා මනාකොට ගිහි ගෙය අත්හැර පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වූ අනුත්තර වූ නිවන මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කළේ ය. ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගත්හ. ආයුෂ්මත් මාලුංක්යපුත්තයන් වහන්සේ ද එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.
සාදු! සාදු!! සාදු!!!
මාලුංක්‍යපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M