අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.6.5. කුල සුත්තං

4.6.5. පවුල ගැන වදාළ දෙසුම

මහණෙනි, යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ ඇත්නම්, ඒ හැම පවුල්හි ඒ භෝග සම්පත් බොහෝ කල් නොපවතින්නේ මේ සතර කරුණෙන් හෝ මෙයින් එකක් නිසා ය. ඒ කවර සතර කරුණක් ද යත්;

විනාශ වූ දෙය යළි නොසොයති. දිරාගිය දෙය ප්‍රතිසංස්කරණය නොකරති. සීමාවක් නැති ව ආහාර පාන අනුභවයේ යෙදෙති. දුස්සීල වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මුල්තැන සිටිති.

මහණෙනි, යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ ඇත්නම්, ඒ හැම පවුල්හි ඒ භෝග සම්පත් බොහෝ කල් නොපවතින්නේ මේ සතර කරුණෙන් හෝ මෙයින් එකක් නිසා ය.

මහණෙනි, යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ ඇත්නම්, ඒ හැම පවුල්හි ඒ භෝග සම්පත් බොහෝ කල් පවතින්නේ මේ සතර කරුණෙන් හෝ මෙයින් එකක් නිසා ය. ඒ කවර සතර කරුණක් ද යත්;

විනාශ වූ දෙය යළි සොයති. දිරාගිය දෙය ප්‍රතිසංස්කරණය කරති. සීමාවක් ඇති ව ආහාර පාන අනුභවයේ යෙදෙති. සිල්වත් වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මුල්තැන සිටිති.

මහණෙනි, යම්කිසි පවුල් භෝග සම්පත් වලින් මහත් බවට පැමිණ ඇත්නම්, ඒ හැම පවුල්හි ඒ භෝග සම්පත් බොහෝ කල් පවතින්නේ මේ සතර කරුණෙන් හෝ මෙයින් එකක් නිසා ය.

සාදු! සාදු!! සාදු!!!

කුල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M