අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.4. සෙය්‍යා සුත්තං

4.5.5.4. නිදන ඉරියව් ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ නිදන ඉරියව් සතරකි. ඒ කවර සතරක් ද යත්;

ප්‍රේත සෙය්‍යාව, කාමභෝගී සෙය්‍යාව, සිංහ සෙය්‍යාව, තථාගත සෙය්‍යාව.

1. මහණෙනි, ප්‍රේත සෙය්‍යාව යනු කුමක් ද? මහණෙනි, බොහෝ සෙයින් මළමිනී උඩු අතට සයනය කරත්. මහණෙනි, මෙය ප්‍රේත සෙය්‍යාව යැයි කියනු ලැබේ.

2. මහණෙනි, කාමභෝගී සෙය්‍යාව යනු කුමක් ද? මහණෙනි, කාමභෝගී පුද්ගලයෝ බොහෝ සෙයින් වම් අතට සයනය කරත්. මහණෙනි, මෙය කාමභෝගී සෙය්‍යාව යැයි කියනු ලැබේ.

3. මහණෙනි, සිංහ සෙය්‍යාව යනු කුමක් ද? මහණෙනි, මෘගරාජ වූ සිංහ තෙමේ දකුණු පාදයට වම් පාදය මදක් මෑත් කොට දෙකළවා අතර වළිගය බහා තබා දකුණු ඇලයෙන් සයනය කරයි. හේ නැගිට උඩු කය ඔසොවා යටි කය දෙස මැනැවින් බලයි. ඉදින් මහණෙනි, මෘග රාජ වූ සිංහ තෙමේ තම ශරීර අවයවයන්ගේ විසිරීමක් හේ පැතිරීමක් හෝ කිසිවක් දකියි නම් එයින් මහණෙනි, මෘගරාජ වූ සිංහ තෙමේ අසතුටට පත් වෙයි. ඉදින් මහණෙනි, මෘග රාජ වූ සිංහ තෙමේ තම ශරීර අවයවයන්ගේ විසිරීමක් හේ පැතිරීමක් හෝ කිසිවක් නොදකියි නම් එයින් මහණෙනි, මෘගරාජ වූ සිංහ තෙමේ සතුටට පත් වෙයි. මහණෙනි, මෙය සිංහ සෙය්‍යාව යැයි කියනු ලැබේ.

4. මහණෙනි, තථාගත සෙය්‍යාව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මහණෙනි, මෙය තථාගත සෙය්‍යාව යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී නිදන ඉරියව් සතර යි.

සාදු! සාදු!! සාදු!!!

සෙය්‍යා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M