අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.3. සික්ඛානිසංස සුත්තං

4.5.5.3. ශික්ෂාවෙහි අනුසස් ගැන වදාළ දෙසුම

මහණෙනි, ශික්ෂාව අනුසස් කොට, ප්‍රඥාව උතුම් කොට, විමුක්තිය සාරය කොට, සිහිය අධිපති කොට මේ බඹසර හැසිරෙනු ලැබේ.

1. මහණෙනි, මේ බඹසර ශික්ෂාව අනුසස් කොට ඇත්තේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා මා විසින් ශ්‍රාවකයන් හට ආභිසමාචාරික ශික්ෂාවෝ පණවන ලද්දාහු ය. ඒ නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ය. පැහැදුනවුන්ගේ වඩාත් පැහැදීම පිණිස ය. මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ත්, පැහැදුනවුන්ගේ වඩා පැහැදීම පිණිස ත් යම් යම් අයුරකින් ශික්ෂාපදයෝ පණවන ලද්දාහු ද, ඒ ඒ අයුරින් ශික්ෂාකාමී භික්ෂුව ඒ ශික්ෂාපද කෙරෙහි නොකඩ කොට රකින්නේ වෙයි. සිදුරු නැති ව රකින්නේ වෙයි. පැල්ලම් නැති ව රකින්නේ වෙයි. කැලැල් නැති ව රකින්නේ වෙයි. තව ද මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට නිවන් මගට මුල්වෙන ආදිබ්‍රහ්මචරියක ශික්ෂාපද පණවන ලද්දාහු ය. ඒ සියළු අයුරින් මනාලෙස දුක් ක්ෂය වීම පිණිස ය. මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට නිවන් මගට මුල් වන ආදිබ්‍රහ්මචරියක ශික්ෂාපදයෝ යම් යම් අයුරකින් පණවන ලද්දාහු ද, ඒ ඒ අයුරින් ශික්ෂාකාමී භික්ෂුව ඒ ශික්ෂාපද කෙරෙහි නොකඩ කොට රකින්නේ වෙයි. සිදුරු නැති ව රකින්නේ වෙයි. පැල්ලම් නැති ව රකින්නේ වෙයි. කැලැල් නැති ව රකින්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර ශික්ෂාව අනුසස් කොට ඇත්තේ වෙයි.

2. මහණෙනි, මේ බඹසර ප්‍රඥාව උතුම් කොට ඇත්තේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා මා විසින් ශ්‍රාවකයන් හට මුළුමනින් ම මනාකොට දුක් ක්ෂය වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ දෙසන ලද්දාහු ය. මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට මුළුමනින් ම මනාකොට දුක් ක්ෂය වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ යම් යම් අයුරකින් දෙසන ලද්දාහු ද, ප්‍රඥාවට කැමති භික්ෂු තෙම ඒ ඒ අයුරින් ඒ ධර්මයන් ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගනියි. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥාව උතුම් කොට ඇත්තේ වෙයි.

3. මහණෙනි, මේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා මා විසින් ශ්‍රාවකයන් හට මුළුමනින් ම මනාකොට දුක් ක්ෂය වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ දෙසන ලද්දාහු ය. මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට මුළුමනින් ම මනාකොට දුක් ක්ෂය වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයෝ යම් යම් අයුරකින් දෙසන ලද්දාහු ද, විමුක්තිකාමී භික්ෂු තෙම ඒ ඒ අයුරින් ඒ ධර්මයන් විමුක්තියෙන් ස්පර්ශ කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි.

4. මහණෙනි, මේ බඹසර සිහිය අධිපති කොට ඇත්තේ කෙසේ ද?

මෙසේ අසම්පූර්ණ වූ හෝ ආභිසමාචාරික ශික්ෂාව සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණ වූ හෝ ආභිසමාචාරික ශික්ෂාව ඒ ඒ තැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යි තමා තුළ ම සිහිය මැනැවින් පිහිටුවා ගන්නේ වෙයි. මෙසේ අසම්පූර්ණ වූ හෝ ආදිබ්‍රහ්මචරියක ශික්ෂාව සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණ වූ හෝ ආදිබ්‍රහ්මචරියක ශික්ෂාව ඒ ඒ තැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යි තමා තුළ ම සිහිය මැනැවින් පිහිටුවා ගන්නේ වෙයි. මෙසේ නුවණින් නොදකින ලද චතුරාර්ය සත්‍යය ධර්මය නුවණින් දකින්නෙමි යි කියා හෝ නුවණින් දකින ලද චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ඒ තැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යි තමා තුළ ම සිහිය මැනැවින් පිහිටුවා ගන්නේ වෙයි. මෙසේ ස්පර්ශ නොකළ විමුක්තිය ස්පර්ශ කරන්නෙමි යි කියා හෝ ස්පර්ශ කළ විමුක්තිය ඒ ඒ තැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යි තමා තුළ ම සිහිය මැනැවින් පිහිටුවා ගන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර සිහිය අධිපති කොට ඇත්තේ වෙයි.

මහණෙනි, ශික්ෂාව අනුසස් කොට, ප්‍රඥාව උතුම් කොට, විමුක්තිය සාරය කොට, සිහිය අධිපති කොට මේ බඹසර හැසිරෙනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

සික්ඛානිසංස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M