අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.5.2. ආපත්ති භය සුත්තං

4.5.5.2. වරදට භය වීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ආපත්ති භය සතරකි. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, යම් සේ අපරාධකාරී සොරෙකු අල්ලාගෙන රජුට පෙන්වත් ද, ‘දේවයිනි, මේ ඔබගේ අපරාධකාරී සොරා ය. දේවයිනි, මොහුට දඬුවම් පමුණුවනු මැනැවි’ යි. එවිට රජු ඔවුන්ට මෙසේ කියයි. ‘භවත්නි, යව්. මේ පුරුෂයා දැඩි රැහැනෙන් දෙඅත් පිටුපසට කොට දැඩි සේ බැඳ, හිස මුඩු කොට, දරුණු හඬ ඇති වධ බෙර වයමින් වීදියෙන් වීදියට, මංසන්ධියෙන් මංසන්ධියට ඇදගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්ම නගරයට දකුණු දෙසින් හිස සිඳිව්.’ ඉක්බිති රජුගේ ඒ පුරුෂයෝ අර සොරා දැඩි රැහැනෙන් දෙඅත් පිටුපසට කොට දැඩි සේ බැඳ, හිස මුඩු කොට, දරුණු හඬ ඇති වධ බෙර වයමින් වීදියෙන් වීදියට, මංසන්ධියෙන් මංසන්ධියට ඇදගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්ම නගරයට දකුණු දෙසින් හිස සිඳිත්. එවිට එහි එක්තරා තැනක සිටිනා පුරුෂයෙකුට මෙසේ සිතෙයි. ‘අහෝ ! මේ පුරුෂයා ඒකාන්තයෙන් ම යම්බඳු ගැරහිය යුතු, හිස සිඳිය යුතු කර්මයක් කළේ ම ය. එනිසා ම යම් කර්මයක් නිසා රාජපුරුෂයෝ මොහු දැඩි රැහැනෙන් දෙඅත් පිටුපසට කොට දැඩි සේ බැඳ, හිස මුඩු කොට, දරුණු හඬ ඇති වධ බෙර වයමින් වීදියෙන් වීදියට, මංසන්ධියෙන් මංසන්ධියට ඇදගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්ම නගරයට දකුණු දෙසින් හිස සිඳිත් ද, ඒ පුද්ගලයා මම නම් මෙබඳු වූ ගැරහිය යුතු, හිස සිඳිය යුතු පාප කර්මයක් නොකරමි’ යි.

මහණෙනි, ඒ අයුරින් ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මෙසේ පාරාජිකා ධර්මයන් පිළිබඳ ව තියුණු වූ භය සංඥාව එළඹ සිටින්නේ වෙයි ද, ඔහුට මෙය කැමති විය යුත්තේ ය. එනම් නොපැමිණි පාරාජිකාවකට නොපැමිණෙන්නේ ය. පැමිණි පාරාජිකාවට ධර්මානුකූලව ප්‍රතිකර්ම කරන්නේ ය යන කරුණ යි.

2. මහණෙනි, යම් සේ පුරුෂයෙක් කලු වස්ත්‍රයක් හැඳ, කෙස් විසිරුවාගෙන, මොහොලක් කර තබාගෙන, මහාජනයාට වැඳ මෙසේ කියයි නම්, ‘භවත්නි, මම මොහොල් පහරට නිසි ගැරහිය යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යි. එවිට එකත්පස් ව සිටි එක්තරා පුරුෂයෙකුට මෙසේ සිතෙයි. ‘භවත්නි, මේ පුරුෂයා ඒකාන්තයෙන් ම ගැරහිය යුතු, මොහොල් පහර දිය යුතු පාප කර්මයක් කළේ ම ය. එනිසා ය මෙතෙමේ කලු වතක් හැඳ, කෙස් විසිරුවාගෙන, මොහොලක් කරට ගෙන ජනයාට වැඳ මෙසේ කියන්නේ. ‘මම මොහොල් පහරට නිසි ගැරහිය යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යනුවෙන්. ඉදින් ඒ පුරුෂයා මම නම් එබඳු මොහොලින් පහර දිය යුතු, ගැරහිය යුතු පාප කර්මයක් නොකරමි’ යි.

මහණෙනි, ඒ අයුරින් ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මෙසේ සංඝාදිසේස ධර්මයන් පිළිබඳ ව තියුණු වූ භය සංඥාව එළඹ සිටින්නේ වෙයි ද, ඔහුට මෙය කැමති විය යුත්තේ ය. එනම් නොපැමිණි සංඝාදිසේසයකට නොපැමිණෙන්නේ ය. පැමිණි සංඝාදිසේසයකට ධර්මානුකූලව ප්‍රතිකර්ම කරන්නේ ය යන කරුණ යි.

3. මහණෙනි, යම් සේ පුරුෂයෙක් කලු වස්ත්‍රයක් හැඳ, කෙස් විසිරුවා ගෙන, අළු පොදියක් කර තබාගෙන, මහාජනයාට වැඳ මෙසේ කියයි නම්, ‘භවත්නි, මම අළු පොදියෙන් ලැබෙන පහරට නිසි ගැරහිය යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යි. එවිට එකත්පස් ව සිටි එක්තරා පුරුෂයෙකුට මෙසේ සිතෙයි. ‘භවත්නි, මේ පුරුෂයා ඒකාන්තයෙන් ම ගැරහිය යුතු, අළු පොදියෙන් පහර දිය යුතු පාප කර්මයක් කළේ ම ය. එනිසා ය මෙතෙමේ කලු වතක් හැඳ, කෙස් විසිරුවාගෙන, අළු පොදියක් කරට ගෙන ජනයාට වැඳ මෙසේ කියන්නේ. ‘මම අළු පොදියෙන් ලැබෙන පහරට නිසි ගැරහිය යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යනුවෙන්. ඉදින් ඒ පුරුෂයා මම නම් එබඳු අළු පොදියෙන් පහර දිය යුතු, ගැරහිය යුතු පාප කර්මයක් නොකරමි’ යි.

මහණෙනි, ඒ අයුරින් ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මෙසේ පාචිත්තිය ධර්මයන් පිළිබඳ ව තියුණු වූ භය සංඥාව එළඹ සිටින්නේ වෙයි ද, ඔහුට මෙය කැමති විය යුත්තේ ය. එනම් නොපැමිණි පාචිත්තියකට නොපැමිණෙන්නේ ය. පැමිණි පාචිත්තියකට ධර්මානුකූලව ප්‍රතිකර්ම කරන්නේ ය යන කරුණ යි.

4. මහණෙනි, යම් සේ පුරුෂයෙක් කලු වස්ත්‍රයක් හැඳ, කෙස් විසිරුවා ගෙන, මහාජනයාට වැඳ මෙසේ කියයි නම්, ‘භවත්නි, මම ගැරහිය යුතු, උපවාද කළ යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යි. එවිට එකත්පස් ව සිටි එක්තරා පුරුෂයෙකුට මෙසේ සිතෙයි. ‘භවත්නි, මේ පුරුෂයා ඒකාන්තයෙන් ම ගැරහිය යුතු, උපවාද කළ යුතු පාප කර්මයක් කළේ ම ය. එනිසා ය මෙතෙමේ කලු වතක් හැඳ, කෙස් විසිරුවාගෙන ජනයාට වැඳ මෙසේ කියන්නේ. ‘මම ගැරහිය යුතු, උපවාද කළ යුතු පාප කර්මයක් කළෙමි. ඉදින් ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමකින් සතුටුවහු නම් එය කරනු’ යනුවෙන්. ඉදින් ඒ පුරුෂයා මම නම් එබඳු ගැරහිය යුතු, උපවාද කළ යුතු පාප කර්මයක් නොකරමි’ යි.

මහණෙනි, ඒ අයුරින් ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මෙසේ පාටිදේසනීය ධර්මයන් පිළිබඳ ව තියුණු වූ භය සංඥාව එළඹ සිටින්නේ වෙයි ද, ඔහුට මෙය කැමති විය යුත්තේ ය. එනම් නොපැමිණි පාටිදේසනීය ඇවතකට නොපැමිණෙන්නේ ය. පැමිණි පාටිදේසනීය ඇවතට ධර්මානුකූලව ප්‍රතිකර්ම කරන්නේ ය යන කරුණ යි.

මහණෙනි, මේ වනාහී සතරක් වූ ආපත්ති භය යි.

සාදු! සාදු!! සාදු!!!

ආපත්තිභය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M