එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“කිම ? ආනන්දය, ඒ අර්බුදය සංසිඳී ගියේ ද?”
“ස්වාමීනී, කෙසේ නම් ඒ අර්බුදය සංසිඳෙන්නේ ද? ස්වාමීනී, ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ බාහිය නම් සද්ධිවිහාරික භික්ෂුව මුළුමනින් ම සංඝභේදයට සිටින්නේ නොවැ. එහිලා ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ එක වචනයක් වත් කිව යුතු යැයි නොසිතත්.”
“ආනන්දය, කවදා නම් අනුරුද්ධ තෙමේ සංඝයාගේ අර්බුදයකට මැදිහත් වූයේ ද? ආනන්දය, යම් මේ අර්බුදයෝ හටගනිත් නම් ඒ සියල්ල ඔබ හෝ සාරිපුත්ත, මොග්ගල්ලානයන් හෝ මැදිහත් වී සංසිඳිය යුත්තාහ.
ආනන්දය, කරුණු සතරක් දකින්නට ලැබෙන පාප භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි. ඒ කවර කරුණු සතරක් ද යත්;
1. ආනන්දය, මෙහිලා පවිටු භික්ෂුව දුස්සීල වෙයි. පවිටු ධර්ම ඇත්තේ වෙයි. අපවිත්‍ර ක්‍රියා ඇත්තේ වෙයි. සැක සහගත හැසිරීම් ඇත්තේ වෙයි. සැඟවී කරන කටයුතු ඇත්තේ වෙයි. අශ්‍රමණ ව ශ්‍රමණ බවට ප්‍රතිඥා දෙන්නේ වෙයි. අබ්‍රහ්මචාරී ව බ්‍රහ්මචාරී බව පෙන්වන්නේ වෙයි. ඇතුළත කුණු වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. හටගත් කෙලෙස් කසල ඇත්තේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් භික්ෂූහු මා ගැන දුස්සීල ය, පවිටු ධර්ම ඇත්තේ ය, අපවිත්‍ර ක්‍රියා ඇත්තේ ය, සැක සහගත හැසිරීම් ඇත්තේ ය, සැඟවී කරන කටයුතු ඇත්තේ ය, අශ්‍රමණ ව ශ්‍රමණ බවට ප්‍රතිඥා දෙන්නේ ය, අබ්‍රහ්මචාරී ව බ්‍රහ්මචාරී බව පෙන්වන්නේ ය, ඇතුළත කුණු වූයේ ය, කෙලෙසුන්ගෙන් තෙත් වූයේ ය, හටගත් කෙලෙස් කසල ඇත්තේ ය යන කරුණු දන්නාහු නම් සංඝයා සමඟි ව මාව නෙරපන්නාහු ය. නමුත් සංඝයා ව අසමඟි කළ විට මාව නෙරපන්නේ නැත’ යනුවෙනි. ආනන්දය, මේ පළමුවෙනි කරුණ දකින්නට ලැබෙන පවිටු භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි.
2. තව ද ආනන්දය, පවිටු භික්ෂුව මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයි. දැඩි අන්ත ගාමී දෘෂ්ටියකින් යුක්ත වූයේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් භික්ෂූහු මා ගැන මිථ්‍යා දෘෂ්ටි ඇත්තෙක් ය, දැඩි අන්තගාමී දෘෂ්ටියකින් යුතු කෙනෙක් ය යන කරුණු දන්නාහු නම් සංඝයා සමඟි ව මාව නෙරපන්නාහු ය. නමුත් සංඝයා ව අසමඟි කළ විට මාව නෙරපන්නේ නැත’ යනුවෙනි. ආනන්දය, මේ දෙවෙනි කරුණ දකින්නට ලැබෙන පවිටු භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි.
3. තව ද ආනන්දය, පවිටු භික්ෂුව මිථ්‍යා ආජීවයෙන් යුක්ත වෙයි. මිථ්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් භික්ෂූහු මා ගැන මිථ්‍යා ආජීව ඇත්තෙක් ය, මිථ්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවන කෙනෙක් ය යන කරුණු දන්නාහු නම් සංඝයා සමඟි ව මාව නෙරපන්නාහු ය. නමුත් සංඝයා ව අසමඟි කළ විට මාව නෙරපන්නේ නැත’ යනුවෙනි. ආනන්දය, මේ තුන්වෙනි කරුණ දකින්නට ලැබෙන පවිටු භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි.
4. තව ද ආනන්දය, පවිටු භික්ෂුව ලාභ කැමති වෙයි. සත්කාර කැමති වෙයි. ගැරහීම් නොකැමති වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් භික්ෂූහු මා ගැන ලාභ කැමති කෙනෙක් ය, සත්කාර කැමති කෙනෙක් ය, ගැරහීම් නොකැමති කෙනෙක් ය යන කරුණු දන්නාහු නම් සංඝයා සමඟි ව මා හට සත්කාර නොකරන්නාහු ය. ගෞරව නොකරන්නාහු ය. බුහුමන් නොකරන්නාහු ය. නොපුදන්නාහු ය. නමුත් සංඝයා ව අසමඟි කළ විට අසමඟි වූ සංඝයා මට සත්කාර කරන්නාහ. ගෞරව කරන්නාහ. බුහුමන් කරන්නාහ. පුදන්නාහ.’ යනුවෙනි. ආනන්දය, මේ සිව්වෙනි කරුණ දකින්නට ලැබෙන පවිටු භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි.
ආනන්දය, මේ කරුණු සතර දකින්නට ලැබෙන පාප භික්ෂුව සංඝභේදයෙන් සතුටු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පාපභික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M