අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.4.10. සමණ සුත්තං

4.5.4.10. ශ්‍රමණයා ගැන වදාළ දෙසුම

මහණෙනි, පළමු ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. දෙවෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. තුන්වෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. සිව්වෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. අන්‍ය වූ ශාසනයන් හි ශ්‍රමණයන්ගෙන් හිස් ය. මහණෙනි, ඔය කරුණ පිළිබඳ ව මැනැවින් සිංහනාද කරව්.

1. මහණෙනි, පළමුවෙනි ශ්‍රමණයා යනු කවරෙක් ද? මහණෙනි, මෙසසුනෙහි භික්ෂුව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝවාන් වූයේ වෙයි. අපායට නොයන ස්වභාව ඇත්තේ වෙයි. නියත වශයෙන් ම නිවන අවබෝධ කරන්නේ වෙයි. මහණෙනි, මේ පළමු ශ්‍රමණයා ය.

2. මහණෙනි, දෙවෙනි ශ්‍රමණයා යනු කවරෙක් ද? මහණෙනි, මෙසසුනෙහි භික්ෂුව තුන් සංයෝජනයක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන් තුනී වීමෙන් සකදාගාමී වෙයි. එක් වරක් පමණක් මෙලොවට අවුත් දුක් අවසන් කරන්නේ වෙයි. මහණෙනි, මේ දෙවන ශ්‍රමණයා ය.

3. මහණෙනි, තුන්වෙනි ශ්‍රමණයා යනු කවරෙක් ද? මහණෙනි, මෙසසුනෙහි භික්ෂුව ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ වෙයි. නැවත මෙලොවට හැරී නොඑන ස්වභාවයෙන් යුතුව එහි පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ තුන්වෙනි ශ්‍රමණයා ය.

4. මහණෙනි, සිව්වෙනි ශ්‍රමණයා යනු කවරෙක් ද? මහණෙනි, මෙසසුනෙහි භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් අත්දැක එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතරවෙනි ශ්‍රමණයා ය.

මහණෙනි, පළමු ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. දෙවෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. තුන්වෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. සිව්වෙනි ශ්‍රමණයා ද සිටින්නේ මේ බුදු සසුනෙහි ම ය. අන්‍ය වූ ශාසනයන් හි ශ්‍රමණයන්ගෙන් හිස් ය.

සාදු! සාදු!! සාදු!!!

සමණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M