අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.1.4. චතුත්ථ සප්පුරිස සුත්තං

4.5.1.4. සත්පුරුෂයා ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….

මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. ….(පෙ)…. අනුන් සතු දෙයට ලෝභ කරන්නේ වෙයි. ද්වේෂ කරන්නේ වෙයි. මිසදිටු ගත්තේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් අනුන් සතු දෙයට ලෝභ කරන්නේ වෙයි. අන්‍යයන් ද අනුන් සතු දෙයට ලෝභ කිරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් ද්වේෂ කරන්නේ වෙයි. අන්‍යයන් ද ද්වේෂ කිරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් මිසදිටු ගත්තේ වෙයි. අන්‍යයන් ද මිසදිටු ගැනීමෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. අන් සතු දෙයට ලෝභ නොකරන්නේ වෙයි. ද්වේෂ නොකරන්නේ වෙයි. සම්දිටු ගත්තේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් අන්සතු දෙයට ලෝභ නොකරන්නේ වෙයි. අන්‍යයන් ද අන් සතු දෙයට ලෝභ නොකිරීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් ද්වේෂ නොකරන්නේ වෙයි. අන්‍යයන් ද ද්වේෂ නොකිරීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් සම්දිටු ගත්තේ වෙයි. අන්‍යයන් ද සම්දිටු ගැනීමෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ සප්පුරිස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M