අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.1.5. පඤ්චම සප්පුරිස සුත්තං

4.5.1.5. සත්පුරුෂයා ගැන වදාළ පස්වෙනි දෙසුම

මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….

මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. වැරදි සංකල්පනා ඇත්තේ වෙයි. වැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. වැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. වැරදි ජීවිකාව ඇත්තේ වෙයි. වැරදි වීරිය ඇත්තේ වෙයි. වැරදි සිහිය ඇත්තේ වෙයි. වැරදි සමාධිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි සංකල්පනා ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි සංකල්පනාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි වචන භාවිතයෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි කායික ක්‍රියාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි ජීවිකාව ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි ජීවිකාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි වීරිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි වීර්යයෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි සිහිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි සිහියෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි සමාධිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි සමාධියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. නිවැරදි සංකල්පනා ඇත්තේ වෙයි. නිවැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. නිවැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. නිවැරදි ජීවිකාව ඇත්තේ වෙයි. නිවැරදි වීරිය ඇත්තේ වෙයි. නිවැරදි සිහිය ඇත්තේ වෙයි. නිවැරදි සමාධිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි සංකල්පනා ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි සංකල්පනාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි වචන භාවිතයෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි කායික ක්‍රියාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි ජීවිකාව ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි ජීවිකාවෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි වීරිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි වීර්යයෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි සිහිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි සිහියෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි සමාධිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි සමාධියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පංචම සප්පුරිස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M