මහණෙනි, ඔබට හාත්පස විහිදී ගිය, පැතිරී ගිය, ඇලී ගිය තෘෂ්ණා දැල ගැන දෙසන්නෙමි. මේ ලෝක සත්වයා ඒ තෘෂ්ණා දැලෙන් පැටලී ගොස්, වෙලී ගොස්, අවුල් වී ගිය නූල් බඳු වූයේ, කැඳ දමා අවුලට පත් වූ නූල් බඳු වූයේ, අවුල් වී ගිය මුදු තණ බබුස් තණ බඳු වූයේ අපාය දුර්ගති විනිපාතයෙන් යුතු මේ බිහිසුණු සසරින් ඉක්ම යා ගත නොහැකි ව එහි ගැලී සිටියි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, මේ ලෝක සත්වයා හාත්පස විහිදී ගිය, පැතිරී ගිය, ඇලී ගිය තෘෂ්ණා දැල නිසාවෙන් එහි ම පැටලී ගොස්, වෙලී ගොස්, අවුල් වී ගිය නූල් බඳු වූයේ, කැඳ දමා අවුලට පත් වූ නූල් බඳු වූයේ, අවුල් වී ගිය මුදු තණ බබුස් තණ බඳු වූයේ අපාය දුර්ගති විනිපාතයෙන් යුතු මේ බිහිසුණු සසරින් ඉක්ම යා ගත නොහැකි ව එහි ගැලී සිටින්නේ කෙසේ ද?
මහණෙනි, තමාට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අටකි. බාහිරට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අටකි.
මහණෙනි, තමාට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අට මොනවා ද? මහණෙනි, ‘මම වෙමි’ යි හැඟීම ඇති කල්හී ‘මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරු වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. මහණෙනි, තමාට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අට මේවා ය.
මහණෙනි, බාහිරට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අට මොනවා ද? මහණෙනි, ‘මේ රූපාදියෙන් මම වෙමි’ යි හැඟීම ඇති කල්හී ‘මේ රූපාදියෙන් මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරු වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. මහණෙනි, බාහිරට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහ අට මේවා ය.
මෙසේ තමාට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහඅටකි. බාහිරට ග්‍රහණය වූ තෘෂ්ණා හැසිරීම් දහඅටකි. මහණෙනි, මේවා තිස් හයක් වූ තෘෂ්ණා හැසිරීම් යැයි කියනු ලැබේ. මෙසේ මෙබඳු වූ අතීතයට ගිය තෘෂ්ණා හැසිරීම් තිස් හයකි. අනාගතයේ හටගන්නා වූ තෘෂ්ණා හැසිරීම් තිස් හයකි. වර්තමානයේ තෘෂ්ණා හැසිරීම් තිස් හයකි. මෙසේ තෘෂ්ණා හැසිරීම් එකසිය අටක් වෙයි.
මහණෙනි, මේ ලෝක සත්වයා හාත්පස විහිදී ගිය, පැතිරී ගිය, ඇලී ගිය තෘෂ්ණා දැල නිසාවෙන් එහි ම පැටලී ගොස්, වෙලී ගොස්, අවුල් වී ගිය නූල් බඳු වූයේ, කැඳ දමා අවුලට පත් වූ නූල් බඳු වූයේ, අවුල් වී ගිය මුදු තණ බබුස් තණ බඳු වූයේ අපාය දුර්ගති විනිපාතයෙන් යුතු මේ බිහිසුණු සසරින් ඉක්ම යා ගත නොහැකි ව එහි ගැලී සිටින තෘෂ්ණා දැල මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
තණ්හා ජාලිනී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M