අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.5.10. පේමදෝස සුත්තං

4.4.5.10. ප්‍රේමය ත්, ද්වේෂය ත් ගැන වදාළ දෙසුම

මහණෙනි, ඉපදීම් සතරකි. ඒ කවර සතරක් ද යත්; ප්‍රේමයෙන් ප්‍රේමය උපදියි. ප්‍රේමයෙන් ද්වේෂය උපදියි. ද්වේෂයෙන් ප්‍රේමය උපදියි. ද්වේෂයෙන් ද්වේෂය උපදියි.

1. මහණෙනි, ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්නේ කෙසේ ද? මෙහිලා පුද්ගලයෙක් තව පුද්ගලයෙකු පිළිබඳ ව සිතෙන් ප්‍රිය වූයේ වෙයි. කාන්ත වූයේ වෙයි. මනාප වූයේ වෙයි. අන්‍යයෝ ත් ඒ පුද්ගලයාට සිතෙන් ප්‍රිය ව, කාන්ත ව, මනාප අයුරින් කටයුතු කරත්. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම් පුද්ගලයෙක් මට ප්‍රිය වූයේ ද, කාන්ත වූයේ ද, මනාප වූයේ ද ඔහුට අන්‍යයෝත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ අයුරින් කටයුතු කරති’ යි හේ ඔවුන් කෙරෙහි ප්‍රේමය උපදවයි. මහණෙනි, මේ අයුරින් ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්නේ වෙයි.

2. මහණෙනි, ප්‍රේමයෙන් ද්වේෂය උපදින්නේ කෙසේ ද? මෙහිලා පුද්ගලයෙක් තව පුද්ගලයෙකු පිළිබඳ ව සිතෙන් ප්‍රිය වූයේ වෙයි. කාන්ත වූයේ වෙයි. මනාප වූයේ වෙයි. අන්‍යයෝ ඒ පුද්ගලයාට සිතෙන් ප්‍රිය නොවූ, කාන්ත නොවූ, අමනාප අයුරින් කටයුතු කරත්. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම් පුද්ගලයෙක් මට ප්‍රිය වූයේ ද, කාන්ත වූයේ ද, මනාප වූයේ ද ඔහුට අන්‍යයෝ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අයුරින් කටයුතු කරති’ යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මේ අයුරින් ප්‍රේමයෙන් ද්වේෂය උපදින්නේ වෙයි.

3. මහණෙනි, ද්වේෂයෙන් ප්‍රේමය උපදින්නේ කෙසේ ද? මෙහිලා පුද්ගලයෙක් තව පුද්ගලයෙකු පිළිබඳ ව සිතෙන් අප්‍රිය වූයේ වෙයි. අකාන්ත වූයේ වෙයි. අමනාප වූයේ වෙයි. අන්‍යයෝ ත් ඒ පුද්ගලයාට සිතෙන් අප්‍රිය ව, අකාන්ත ව, අමනාප අයුරින් කටයුතු කරත්. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම් පුද්ගලයෙක් මට අප්‍රිය වූයේ ද, අකාන්ත වූයේ ද, අමනාප වූයේ ද ඔහුට අන්‍යයෝ ත් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අයුරින් කටයුතු කරති’ යි හේ ඔවුන් කෙරෙහි ප්‍රේමය උපදවයි. මහණෙනි, මේ අයුරින් ද්වේෂයෙන් ප්‍රේමය උපදින්නේ වෙයි.

4. මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය උපදින්නේ කෙසේ ද? මෙහිලා පුද්ගලයෙක් තව පුද්ගලයෙකු පිළිබඳ ව සිතෙන් අප්‍රිය වූයේ වෙයි. අකාන්ත වූයේ වෙයි. අමනාප වූයේ වෙයි. අන්‍යයෝ ඒ පුද්ගලයාට සිතෙන් ප්‍රිය ව, කාන්ත ව, මනාප අයුරින් කටයුතු කරත්. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම් පුද්ගලයෙක් මට අප්‍රිය වූයේ ද, අකාන්ත වූයේ ද, අමනාප වූයේ ද ඔහුට අන්‍යයෝ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ අයුරින් කටයුතු කරති’ යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මේ අයුරින් ද්වේෂයෙන් ද්වේෂය උපදින්නේ වෙයි. මහණෙනි, මේ වනාහී ඉපදීම් සතර යි.

මහණෙනි, යම් කලෙක භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහුට ප්‍රේමයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ප්‍රේමයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ද්වේෂයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ද්වේෂයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත.

මහණෙනි, යම් කලෙක භික්ෂුව විතක්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහුට ප්‍රේමයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ප්‍රේමයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ද්වේෂයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත. ඔහුට ද්වේෂයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එසමයෙහි එය ත් ඔහුට නැත.

මහණෙනි, යම් කලක භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ වෙයි. ඔහුට ප්‍රේමයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එය ඔහුට ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳුණේ වෙයි. කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ වෙයි. අභාවයට පත්වූයේ වෙයි. යළි නූපදින ස්වභාව ඇත්තේ වෙයි. ඔහුට ප්‍රේමයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එය ඔහුට ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳුණේ වෙයි. කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ වෙයි. අභාවයට පත්වූයේ වෙයි. යළි නූපදින ස්වභාව ඇත්තේ වෙයි. ඔහුට ද්වේෂයෙන් යම් ප්‍රේමයක් උපදින්නේ ද, එය ඔහුට ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳුණේ වෙයි. කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ වෙයි. අභාවයට පත්වූයේ වෙයි. යළි නූපදින ස්වභාව ඇත්තේ වෙයි. ඔහුට ද්වේෂයෙන් යම් ද්වේෂයක් උපදින්නේ ද, එය ඔහුට ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳුණේ වෙයි. කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ වෙයි. අභාවයට පත්වූයේ වෙයි. යළි නූපදින ස්වභාව ඇත්තේ වෙයි.

මහණෙනි, මේ භික්ෂුව තමාගේ පැත්තෙන් හුවා නොදක්වන්නේ ත් වෙයි. ප්‍රතිවිරුද්ධ පැත්තකින් හුවා නොදක්වන්නේ ත් වෙයි. දුම් නොදමන්නේ වෙයි. නොඇවිලෙන්නේ වෙයි. මැනීමකට නොගන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව තමා හුවා දක්වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව රූපය ආත්මය වශයෙන් දකියි. රූපයෙන් හටගත් හෝ ආත්මයක් දකියි. ආත්මය තුළ හෝ රූපයක් දකියි. රූපය තුළ හෝ ආත්මය දකියි. වේදනාව ආත්මය වශයෙන් දකියි. වේදනාවෙන් හටගත් හෝ ආත්මයක් දකියි. ආත්මය තුළ හෝ වේදනාවක් දකියි. වේදනාව තුළ හෝ ආත්මය දකියි. සංඥාව ආත්මය වශයෙන් දකියි. සංඥාවෙන් හටගත් හෝ ආත්මයක් දකියි. ආත්මය තුළ හෝ සංඥාවක් දකියි. සංඥාව තුළ හෝ ආත්මය දකියි. සංස්කාර ආත්මය වශයෙන් දකියි. සංස්කාරවලින් හටගත් හෝ ආත්මයක් දකියි. ආත්මය තුළ හෝ සංස්කාර දකියි. සංස්කාර තුළ හෝ ආත්මය දකියි. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. විඤ්ඤාණයෙන් හටගත් හෝ ආත්මයක් දකියි. ආත්මය තුළ හෝ විඤ්ඤාණයක් දකියි. විඤ්ඤාණය තුළ හෝ ආත්මය දකියි. මහණෙනි, මෙසේ භික්ෂුව තමා හුවා දක්වන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව තමා හුවා නොදක්වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව රූපය ආත්මය වශයෙන් නොදකියි. රූපයෙන් හටගත් හෝ ආත්මයක් නොදකියි. ආත්මය තුළ හෝ රූපයක් නොදකියි. රූපය තුළ හෝ ආත්මය නොදකියි. වේදනාව ආත්මය වශයෙන් නොදකියි. වේදනාවෙන් හටගත් හෝ ආත්මයක් නොදකියි. ආත්මය තුළ හෝ වේදනාවක් නොදකියි. වේදනාව තුළ හෝ ආත්මය නොදකියි. සංඥාව ආත්මය වශයෙන් නොදකියි. සංඥාවෙන් හටගත් හෝ ආත්මයක් නොදකියි. ආත්මය තුළ හෝ සංඥාවක් නොදකියි. සංඥාව තුළ හෝ ආත්මය නොදකියි. සංස්කාර ආත්මය වශයෙන් නොදකියි. සංස්කාරවලින් හටගත් හෝ ආත්මයක් නොදකියි. ආත්මය තුළ හෝ සංස්කාර නොදකියි. සංස්කාර තුළ හෝ ආත්මය නොදකියි. විඤ්ඤාණය ආත්මය වශයෙන් නොදකියි. විඤ්ඤාණයෙන් හටගත් හෝ ආත්මයක් නොදකියි. ආත්මය තුළ හෝ විඤ්ඤාණයක් නොදකියි. විඤ්ඤාණය තුළ හෝ ආත්මය නොදකියි. මහණෙනි, මෙසේ භික්ෂුව තමා හුවා නොදක්වන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ප්‍රතිවිරුද්ධ පැත්තට හුවා දක්වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආක්‍රෝෂ කරන්නා හට පෙරලා ආක්‍රෝෂ කරයි. කෝප කරන්නා හට පෙරලා කෝප වෙයි. පහර දෙන්නා හට පෙරලා පහර දෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ප්‍රතිවිරුද්ධ පැත්තට හුවා දක්වන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ප්‍රතිවිරුද්ධ පැත්තට හුවා නොදක්වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආක්‍රෝෂ කරන්නා හට පෙරලා ආක්‍රෝෂ නොකරයි. කෝප කරන්නා හට පෙරලා කෝප නොවෙයි. පහර දෙන්නා හට පෙරලා පහර නොදෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ප්‍රතිවිරුද්ධ පැත්තට හුවා නොදක්වන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව දුම් දමන්නේ කෙසේ ද? මහණෙනි, ‘මම වෙමි’ යි හැඟීම ඇති කල්හී ‘මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරු වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මෙසේ වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව දුම් දමන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව දුම් නොදමන්නේ කෙසේ ද? මහණෙනි, ‘මම වෙමි’ යි හැඟීම නැති කල්හී ‘මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම නොවෙයි. ‘මෙසේ වෙමි’ යි හැඟීම නොවෙයි. ‘අන් අයුරු වෙමි’ යි හැඟීම නොවෙයි. ‘නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම නොවෙයි. ‘නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම නොවෙයි. ‘මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම නොවෙයි. ‘මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මෙසේ වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව දුම් දමන්නේ නොවෙයි.

මහණෙනි, කෙසේ නම් ඇවිලෙන්නේ වෙයි ද? මහණෙනි, ‘මේ රූපාදියෙන් මම වෙමි’ යි හැඟීම ඇති කල්හී ‘මේ රූපාදියෙන් මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරු වෙමි’ යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම ඇතිවෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ඇවිලෙන්නේ වෙයි.

මහණෙනි, කෙසේ නම් නොඇවිලෙන්නේ වෙයි ද? මහණෙනි, ‘මේ රූපාදියෙන් මම වෙමි’ යි හැඟීම නැති කල්හී ‘මේ රූපාදියෙන් මම මෙබඳු ආකාර වෙමි’ යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වෙමි’ යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරු වෙමි’ යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් නොනැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් නැසෙන ස්වභාව ඇත්තෙමි’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මම කියා කෙනෙක් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු අයුරින් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටින්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මම යන්නෙක් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාරයෙන් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් සිටිය හැකි වෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් අනාගතයේ මම වන්නෙමි දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙබඳු ආකාර වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් මෙසේ වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. ‘මේ රූපාදියෙන් අන් අයුරකින් වන්නෙම් දැ’යි හැඟීම නොවෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව නොඇවිලෙන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව කෙසේ මැනීමකට යන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අස්මිමානය ප්‍රහාණය නොවුණේ වෙයි ….(පෙ)…. යළි උපදින ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මැනීමකට යන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව කෙසේ මැනීමකට නොයන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අස්මිමානය ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳුණේ වෙයි. කරටිය සුන් තල්ගසක් බඳු වූයේ වෙයි. අභාවයට පත් වූයේ වෙයි. යළි උපදින ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මැනීමකට නොයන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පේම දෝස සූත්‍රය නිමා විය.

පස්වෙනි මහා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සෝතානුධත සූත්‍රය, ඨාන සූත්‍රය, භද්දිය සූත්‍රය, සාපූග සූත්‍රය, වප්ප සූත්‍රය, සාළ්හ සූත්‍රය, මල්ලිකා සූත්‍රය, තප සූත්‍රය, තණ්හා සූත්‍රය සහ ප්‍රේම සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

සිව්වෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M