මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අනුන් ව පීඩාවට පත් කරන්නේ අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ ත් වෙයි. අනුන් ව පීඩාවට පත් කරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ ත් වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් නොකර ගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි. අනුන් ව පීඩාවට පත් නොකරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි. මෙලොවදී ම තෘෂ්ණා රහිත වූයේ, නිවුණේ, සිහිල් වූයේ, සැප විඳින්නේ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයකින් යුතුව වාසය කරයි.
1. මහණෙනි, පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිරුවත් වූයේ වෙයි. ආචාර ධර්ම අත්හැරියේ වෙයි. ආහාර ගත් පසු අත ලෙවකන්නේ වෙයි. ‘හිමියනි, එනු මැනැවැ’ යි කී කල්හී නොඑන්නේ වෙයි. ‘හිමියනි, සිටිනු මැනැවැ’යි කී කල්හී නොසිටින්නේ වෙයි. තමා උදෙසා කළ දන් නොපිළිගන්නේ වෙයි. ඇරයුම් නොපිළිගන්නේ වෙයි. හේ කළයේ උඩින් දුන් ආහාර නොපිළිගන්නේ වෙයි. බඳුනේ උඩින් දුන් ආහාර නොපිළිගන්නේ වෙයි. එළිපත අතරෙහි දෙන ආහාරය ද, දඬු අතර සිට දෙන ආහාරය ද, මොහොල් අතර සිට දෙන ආහාරය ද, දෙදෙනෙක් අනුභව කරද්දී කෙනෙකු නැගී සිට දෙන ආහාරය ද, ගැබිණිය දෙන ආහාරය ද, කිරිපොවන්නිය දෙන ආහාරය ද, පුරුෂ ඇසුරට ගිය ස්ත්‍රිය දෙන ආහාරය ද, සම්මාදන් කොට පිසූ ආහාරය ද, සුනඛයෙකු සිටි තැනින් දෙන ආහාරය ද, මැස්සන් පිරී ඇති තැනින් දෙන ආහාරය ද නොපිළිගන්නේ වෙයි. මත්ස්‍ය, මාංශ, සුරා, මේරය, සෝවීරක ආදිය නොපිළිගන්නේ වෙයි.
හේ එක් ගෙයකින් එක් පිඬුවක් ලැබ යැපෙන්නේ වෙයි. ගෙවල් දෙකකින් පිඬු ලැබ යැපෙන්නේ වෙයි. ගෙවල් සතකින් පිඬු ලැබ යැපෙන්නේ වෙයි. එක් ආහාර බඳුනකින් යැපෙන්නේ වෙයි. ආහාර බඳුන් දෙකකින් යැපෙන්නේ වෙයි. ආහාර බඳුන් තුනකින් යැපෙන්නේ වෙයි. එක් දවසක් හැර ආහාර ගනියි. දෙදවසක් හැර ආහාර ගනියි. සත් දවසක් හැර ආහාර ගනියි. මෙසේ අඩ මසක් හැර ආහාර ගනියි. මෙසේ සීමා කොට ගත් ආහාර ගන්නේ වෙයි.
හේ පළා වර්ග අනුභව කරන්නේ වෙයි. ධාන්‍ය වර්ග අනුභව කරන්නේ වෙයි. හූරුහැල් අනුභව කරන්නේ වෙයි. සම්කඩ අනුභව කරන්නේ වෙයි. ලාටු වර්ග අනුභව කරන්නේ වෙයි. පිටි වර්ග අනුභව කරන්නේ වෙයි. දංකුඩ අනුභව කරන්නේ වෙයි. පුන්නක්කු අනුභව කරන්නේ වෙයි. ගොම අනුභව කරන්නේ වෙයි. වැටුණු ගෙඩි අනුභව කරන්නේ වෙයි. වන මුල් ඵල ආහාර කොට යැපෙන්නේ වෙයි.
හේ හණ වැහැරි ද දරයි. මුසු හණ වැහැරි ද දරයි. මිනී එතූ වස්ත්‍ර ද දරයි. පාංශුකූල ද දරයි. රුක් සුඹුළු ද දරයි. අඳුන් දිවි සම් ද දරයි. කුර සහිත අඳුන් දිවි සම් ද දරයි. කුස වැහැරි ද දරයි. පට්ටා කෙඳි වලින් කළ වස්ත්‍ර ද දරයි. පතුරු වලින් කළ වස්ත්‍ර ද දරයි. කේශ කම්බල ද දරයි. අස් කෙඳි වලින් කළ වස්ත්‍ර ද දරයි. බකමුහුණු පිහාටුවෙන් කළ වස්ත්‍ර ද දරයි.
කෙස් රැවුල් උදුරන්නේ වෙයි. කෙස් රැවුල් ඉදිරීමෙහි යෙදෙන්නේ වෙයි. ආසන ප්‍රතික්ෂේප කොට උඩුකුරු ව සිටින්නේ වෙයි. උක්කුටියෙන් සිටීමෙහි යෙදුණේ වෙයි. කටු ඇතිරියෙහි සයනය කරන්නේ වෙයි. සවස තුන් වෙනි කොට ජලයට බැස පව් සෝදන්නේ වෙයි. මෙසේ අනේකප්‍රකාරයෙන් ශරීරයට පීඩා ඇති කරවන ක්‍රියාවන්හි යෙදුණේ වෙයි.
මහණෙනි, මේ අයුරින් පුද්ගලයා තමා ව පීඩාවට පත් කරන්නේ, තමා ව පීඩාවට පත් කරන ක්‍රියාවන්හි යෙදුණේ වෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් අනුන් ව පීඩාවට පත් කරන්නේ, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බැටළුවන් මරා ජීවත් වන්නේ වෙයි. හූරන් මරා ජීවත් වන්නේ වෙයි. පක්ෂි කුකුළන් මරා ජීවත් වන්නේ වෙයි. මුවන් මරා ජීවත් වන්නේ වෙයි. රෞද්‍ර වෙයි. මසුන් මරන්නේ වෙයි. සොරෙක් වෙයි. සොරු මරන්නේ ත් වෙයි. සිර ගෙවල් ඇත්තේ වෙයි. මෙබඳු වූ යම් අන්‍ය වූ කෲර ක්‍රියාවන්හි ද යෙදුණේ වෙයි.
මහණෙනි, මේ අයුරින් පුද්ගලයා අනුන් ව පීඩාවට පත් කරන්නේ, අනුන් ව පීඩාවට පත් කරවන ක්‍රියාවන්හි යෙදුණේ වෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ ත්, අනුන් ව පීඩාවට පත් කරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ ත් කෙසේ ද?
මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් ඔටුණු පළන් ක්ෂත්‍රිය රජෙක් හෝ මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හේ නගරයේ පෙරදිගින් අළුත් සන්ථා ගාරයක් කරවා කෙස් රැවුල් බහා අඳුන් දිවි සමක් හැඳ ගිතෙලින් කය ගල්වා මුව අඟින් පිට කසමින් සිය මෙහෙසිය සමඟ ද, පුරෝහිත බ්‍රාහ්මණයා සමඟ ද සන්ථාගාරයට පිවිසෙයි.
හේ එහිදී ගොම පිරියම් කළ, නිල් තණ ඇතිරූ බිම සයනය කරයි. එක් සොඳුරු පැටියෙකු ඇති ගවදෙනකගේ තනයෙහි එක් තන බුරුල්ලකින් ලැබෙන කිරෙන් රජ යැපෙයි. දෙවන තන බුරුල්ලෙන් ලැබෙන කිරෙන් මෙහෙසිය යැපෙයි. තෙවන තන බුරුල්ලෙන් ලැබෙන කිරෙන් පුරෝහිත බ්‍රාහ්මණයා යැපෙයි. සිව්වන තන බුරුල්ලෙන් ලැබෙන කිරෙන් ගිනි පුදයි. ඉතිරි තන බුරුල්ලෙන් ලැබෙන කිරෙන් වසු පැටියා යැපෙයි.
හේ මෙසේ කියයි. ‘යාගය පිණිස මෙපමණ වෘෂභයෝ මරත්වා! යාගය පිණිස මෙපමණ තරුණ වස්සෝ මරත්වා! යාගය පිණිස මෙපමණ තරුණ වැස්සියෝ මරත්වා! යාගයෙහි කණු පිණිස මෙපමණ වෘක්ෂයෝ සිඳිත්වා! යාග බිම අතුරනු පිණිස මෙපමණ ඉලුක් තණ සිඳිනු ලැබේවා! ඔහුගේ යම් දාසයෝ හෝ මෙහෙකරුවෝ හෝ කම්කරුවෝ හෝ යමෙක් සිටිත් නම් ඔවුහු ත් දඬුවමින් තැති ගෙන, බියෙන් තැති ගෙන, කඳුළු වැකුණු මුහුණු ඇතිව හඬමින් වැඩ කරමින් සිටිති.
මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමා ව පීඩාවට පත් කරගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ ත්, අනුන් ව පීඩාවට පත් කරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදෙන්නේ ත් වෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් නොකර ගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි ද, අනුන් ව පීඩාවට පත් නොකරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි ද, මෙලොවදී ම තෘෂ්ණා රහිත වූයේ, නිවුණේ, සිහිල් වූයේ, සැප විඳින්නේ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයකින් යුතුව වාසය කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ ලොවෙහි උපදින්නේ ය. ඒ තථාගතයෝ අරහත්යහ. සම්මා සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරෝ පුරිසදම්ම සාරථීහ. දෙව් මිනිස්නට ශාස්තෘහු ය. බුද්ධයහ. භගවත්හ. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත, දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි තම විශිෂ්ට ඥානයෙන් අත්දුටු ධර්මය පවසයි. ඒ තථාගතයන් වහන්සේ මුල මැද අග කලණ වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, සියළු අයුරින් පිරිපුන් නිවන් මග පවසයි. එකල්හී ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ අන්‍ය වූ කුලයක උපන්නෙක් හෝ වේවා ඒ ධර්මය අසන්නේ ය. හේ ඒ ධර්මය අසා තථාගතයන්ගේ සම්බුද්ධත්වය පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගනී. හේ ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත ව මෙසේ නුවණින් විමසයි. ‘ගෘහවාසය කරදර සහිත ය. ක්ලේශ මාර්ගයකි. එනමුදු පැවිද්ද වනාහී අහස් තලය වැනි ය. ගෘහවාසයෙහි සිටින්නේ මේ ඒකාන්ත පිරිපුන් පිරිසිදු සංඛයක් වැනි ඒකාන්ත පිරිසිදු නිවන් මගෙහි හැසිරීම පහසු නොවෙයි. මම් ද කෙස් රැවුල් බහා කසාවත් පෙරොවා ගෘහ වාසයෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නෙම් නම් මැනැවැ’යි. ඉක්බිති හේ පසු කලක අල්ප වූ හෝ භෝග සම්පත් අත්හැර, බොහෝ වූ හෝ භෝග සම්පත් අත්හැර අල්ප වූ හෝ ඥාති පිරිවර අත්හැර, බොහෝ වූ හෝ ඥාති පිරිවර අත්හැර කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගෘහ වාසයෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි.
හේ එසේ පැවිදි වූයේ භික්ෂූන් රකින ශික්ෂාපදයන් සමාදන් වූයේ වෙයි. ප්‍රාණඝාතය අත්හැර පාණාතිපාතයෙන් වැළකුණේ වෙයි. දඬු මුගුරු බහා තැබුවේ වෙයි. අවිආයුධ බහා තැබුවේ වෙයි. ලැජ්ජා ඇත්තේ වෙයි. දයාවෙන් යුක්ත වූයේ වෙයි. සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි.
නුදුන් දේ ගැනීම අත්හැර සොරකමින් වැළකුණේ වෙයි. දුන් දේ පමණක් ගන්නේ වෙයි. දුන් දේ පමණක් ගැනීමට කැමති වෙයි. නොසොර සිතින් යුතුව පිරිසිදු වූ ජීවිතයකින් වාසය කරයි.
අබ්‍රහ්මචාරී බව අත්හැර බ්‍රහ්මචාරී ව වාසය කරයි. ග්‍රාම්‍ය දෙයක් වන මෛථූනයෙන් වැළකී යහපත් ඇවතුම් පැවැතුම්වලින් වාසය කරයි.
බොරු කීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. සත්‍ය කියන්නේ වෙයි. ඇත්තෙන් ඇත්ත ගලපා කියන්නේ වෙයි. සත්‍ය වූ ධර්මයක් ම කියන්නේ වෙයි. ආරවුල් ඇති නොවන කතා කියන්නේ වෙයි.
කේලාම් කීම අත්හැර කේලාම් වචනයෙන් වළකින්නේ වෙයි. මොවුන් බිඳවීම පිණිස මෙතැනින් අසා ගොස් අසවල් තැන නොකියන්නේ වෙයි. අසවලුන් බිඳවීම පිණිස එතැනින් අසාගෙන විත් මෙතන නොකියන්නේ වෙයි. මෙසේ බිඳුණු අය සමඟි කරවීම පිණිස ත්, සමගි වූවන්ට අනුබල දීම පිණිස ත් සමඟියෙහි ඇළුණේ වෙයි. සමඟියට කැමති වූයේ වෙයි. සමඟියෙන් සතුටු වෙයි. සමඟිය ඇතිවෙන කරුණු පවසන්නේ වෙයි.
දරුණු වචන අත්හැර, දරුණු වචනයෙන් වැළකුණේ වෙයි. යම් වචනයක් දොස් රහිත වෙයි ද, ශ්‍රවණයට සැප දෙයි ද, දයාව උපදවයි ද, හෘදයාංගම වෙයි ද, වැදගත් වචන වෙයි ද, බොහෝ ජනයාට කාන්ත වූ, බොහෝ ජනයාට මනාප වූ බස් ම කියන්නේ වෙයි.
නිසරු බස් හැර දමා නිසරු කථායෙන් වළකින්නේ වෙයි. කාලානුරූප වූ දෙයක් කියන්නේ වෙයි. සත්‍යයක් කියන්නේ වෙයි. දෙලොවට හිත වූ දෙයක් කියන්නේ වෙයි. ධර්මය කියන්නේ වෙයි. හික්මෙන දෙයක් කියන්නේ වෙයි. මතකයෙහි ධරා ගැනීමට වටිනා දෙයක් කියන්නේ වෙයි. මෙසේ කරුණු සහිත ව එහි ද සීමාව දැන අර්ථ සහිත වූ දෙයක් කියන්නේ වෙයි.
හේ ගස් කොළන් සිඳලීමෙහි වැළකී සිටින්නේ වෙයි. රාත්‍රී බොජුනෙන් වැළකුණේ විකල් බොජුනෙන් වැළකුණේ උදේ වරුවෙහි වළඳන්නේ වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් ආදී විසූක දර්ශන නැරඹීමෙන් වැළකුණේ වෙයි. මල් සුවඳ විලවුන් දැරීම්, ඇඟ සැරසීම් ආදියෙන් වැළකුණේ වෙයි. වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. අමු මස් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළි ගැනීමෙන් වැළකුණේ වෙයි. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. එළු බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කුකුලන් ඌරන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇත් අස් ගව වෙළඹ ආදී සතුන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කෙත් වත් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි.
ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙනයාමෙන් වැළකුණේ වෙයි. වෙළඳාමෙන් වැළකුණේ වෙයි. තරාදියෙන් කරන වංචා, කිරීමෙන් කරන වංචා, මැනීමෙන් කරන වංචා ආදියෙන් වැළකුණේ වෙයි. වංචාවෙන් වැරදි විනිශ්චය දීම ආදී කටයුතුවලින් වැළකුණේ වෙයි. අත් පා සිඳීම්, මැරීම්, බන්ධන, මං පැහැරීම්, ගම් පැහැරීම්, සැහැසි ක්‍රියා ආදියෙන් වැළකුණේ වෙයි.
හේ ලද දෙයින් සතුටු වන්නේ වෙයි. කයට යැපෙන සිවුරෙන් ද, කුසට යැපෙන ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් ම දිශාවක යයි නම් ඒ පා සිවුරු පමණක් රැගෙන යයි. පක්ෂී ලිහිණියෙක් පියාපත් බර ඇති ව පමණක් ඉගිල යයි ද, එසෙයින් ම භික්ෂුව ද කයට යැපෙන සිවුරෙනුත්, කුසට යැපෙන පිණ්ඩපාතයෙනුත් සතුටු වෙයි. යම් ම දිශාවක යයි නම් ඒ පා සිවුරු පමණක් රැගෙන යයි. මෙසේ හේ මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විත වූයේ ආධ්‍යාත්මයෙහි දොස් රහිත වූ සැපයක් විඳියි.
හේ ඇසින් රූපයක් දැක නිමිති නොගනියි. නිමිත්තකින් කොටසක් හෝ නොගනියි. යම් හෙයකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරමින් දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බඳියි නම් එයින් සංවර වීමට පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන නිමිති නොගනියි. නිමිත්තක කොටසක් හෝ නොගනියි. යම් හෙයකින් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරමින් දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බඳියි නම් එයින් සංවර වීමට පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. හේ මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ කෙලෙස් නොවැගිරෙන සැපයක් විඳියි.
හේ නුවණ හසුරුවමින් ඉදිරියට යන්නේ ද වෙයි, නැවත හැරී එන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් ඉදිරිය බලන්නේ ද වෙයි, වටපිට බලන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් අත් පා දිගහරින්නේ ද වෙයි, හකුළුවන්නේ ද වෙයි. නුවණ හසුරුවමින් දෙපට සිවුර, පාත්‍ර, තනිපට සිවුරු ආදිය දරන්නේ වෙයි. නුවණ හසුරුවමින් අෂ්ටපානාදිය වළඳන්නේ වෙයි, පැන් පානය කරන්නේ වෙයි, ආහාර වළඳන්නේ වෙයි, කැවිලි ආදිය රස විඳින්නේ වෙයි. නුවණ හසුරුවමින් වැසිකිලි කැසිකිලි කරන්නේ වෙයි. යෑමෙහිදී ද, සිටීමෙහිදී ද, හිඳීමෙහිදී ද, සැතපීමෙහිදී ද, නිදිවරා සිටීමෙහිදී ද, යමක් පැවසීමෙහිදී ද, නිහඬ ව සිටීමෙහිදී ද නුවණ හසුරුවන්නේ වෙයි.
හේ මේ ආර්ය සීලස්කන්ධයෙන් ද සමන්විත ව, මේ ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් ද සමන්විත ව, මේ ආර්ය සිහිනුවණින් ද සමන්විත ව, ජනයා රහිත සෙනසුන් ඇසුරු කරයි. එනම් අරණ්‍යය, රුක් සෙවණ, පර්වතය, දිය ඇලි, ගිරි ගුහා, සොහොන, වනපෙත, හිස් අවකාශය, පිදුරු කුටිය යනාදියයි. හේ වනයට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ ජනශූන්‍ය තැනකට ගියේ හෝ පළඟක් බැඳ කය ඍජු කොට සිහිය පෙරට ගෙන වාඩි වෙයි.
හේ තම ලොවෙහි ඇති ලෝභය අත්හැර ලෝභ රහිත වූ සිතින් වාසය කරයි. සිත ලෝභයෙන් පිරිසිදු කරයි. ද්වේෂයෙන් සිත දූෂිත වීම අත්හැර ද්වේෂ රහිත සිතින් සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය අත්හැර ථීනමිද්ධයෙන් තොර ව ආලෝක සංඥීව සිහිනුවණින් යුතුව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරීම ත්, පසුතැවීම ත් අත්හැර නොවිසිරෙන ශාන්ත සිතින් වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර සැකයෙන් එතෙර වූයේ කුසල් දහම් පිළිබඳ කෙසේද කෙසේද යන සැකයෙන් තොර ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
හේ මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා වාසය කරන්නේ වෙයි.
මෙසේ හේ සිත සමාධිමත් වූ කල්හී, පිරිසිදු වූ කල්හී, බබලන කල්හී, උපක්ලේශ රහිත කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය ව මැනැවින් පිහිටා නිශ්චල බවට පත් ව තිබෙන කල්හී පෙර විසූ කඳ පිළිවෙල දකිනු පිණිස ….(පෙ)…. සත්වයන්ගේ චුත වන බව උපදින බව දන්නා නුවණ ලබනු පිණිස ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස සිත යොමු කරයි. හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුක නිරුද්ධ වන මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේවා ආශ්‍රවයෝ යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රවයන්ගේ හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මේ ආශ්‍රව නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි.
මේ අයුරින් දන්නා, මේ අයුරින් දක්නා ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත භවාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. ඔහුගේ සිත අවිජ්ජාශ්‍රවයෙන් ද නිදහස් වෙයි. කෙලෙසුන්ගෙන් නිදහස් වූ කල්හී නිදහස් වූයේ යැයි ඥානය ඇතිවෙයි. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය සපුරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස වෙන කළ යුතු දෙයක් නැතැ’යි දැනගනියි.
මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමා ව පීඩාවට පත් නොකර ගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි ද, අනුන් ව පීඩාවට පත් නොකරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි ද, මෙලොවදී ම තෘෂ්ණා රහිත වූයේ, නිවුණේ, සිහිල් වූයේ, සැප විඳින්නේ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයකින් යුතුව වාසය කරන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
තප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M