අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.5.5. වප්ප සුත්තං

4.4.5.5. වප්ප ශාක්‍යයා හට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී නිගණ්ඨ ශ්‍රාවක වූ වප්ප ශාක්‍යයා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා හට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළහ.

“වප්පයෙනි, මෙහිලා භික්ෂුව කයෙන් සංවර වූයේ, වචනයෙන් සංවර වූයේ, සිතින් සංවර වූයේ අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව උපදවන්නේ වෙයි. වප්පයෙනි, යමක් මුල්කොට පුරුෂයා හට දුක් විඳීම ඇති කරවන ආශ්‍රවයන් ලුහුබඳියි නම් එබඳු දෙයකට ඉඩක් මෙහිලා ඔබ දකින්නෙහි ද?”

“ස්වාමීනී, මම ඒ කරුණ දකිමි. ස්වාමීනී, මෙහිලා පෙර කරන ලද පාප කර්මයක් ඇද්ද, එහි විපාකය මෝරා නැද්ද, එය මුල් කොට පුරුෂයාට දුක් විඳීම ඇති කරවන ආශ්‍රවයන් පරලොව දී ලුහු බඳියි.”

ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත් නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා ත් අතර වූ මේ කථාව අඩාල වූයේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඇමතූ සේක.

“මොග්ගල්ලානයෙනි, දැන් ඔබ කවර කථාවකින් හුන්නාහු ද? ඔබගේ කවර කථාවක් අඩාල වූයේ ද?”

“ස්වාමීනී, මම නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා හට මෙය පැවසුවෙමි. ‘වප්පයෙනි, මෙහිලා භික්ෂුව කයෙන් සංවර වූයේ, වචනයෙන් සංවර වූයේ, සිතින් සංවර වූයේ අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව උපදවන්නේ වෙයි. වප්පයෙනි, යමක් මුල්කොට පුරුෂයා හට දුක් විඳීම ඇති කරවන ආශ්‍රවයන් ලුහුබඳියි නම් එබඳු දෙයකට ඉඩක් මෙහිලා ඔබ දකින්නෙහි දැ’යි. මෙසේ පැවසූ කල්හී ස්වාමීනි, නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා මට මෙය පැවසුවේ ය. ‘ස්වාමීනී, මම ඒ කරුණ දකිමි. ස්වාමීනී, මෙහිලා පෙර කරන ලද පාප කර්මයක් ඇද්ද, එහි විපාකය මෝරා නැද්ද, එය මුල් කොට පුරුෂයාට දුක් විඳීම ඇති කරවන ආශ්‍රවයන් පරලොව දී ලුහු බඳියි’ යි. ස්වාමීනී, නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා හා කෙරුණු මේ කථාව අඩාල වූයේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා හට මෙය වදාළ සේක.

“ඉදින් වප්පයෙනි, ඔබ මාගේ වචනය පිළිගන්නේ නම් පිළිගත හැක්කෙහි ය. ප්‍රතික්ෂේප කළ යුතු නම් ප්‍රතික්ෂේප කළ හැක්කෙහි ය. මා පවසන කරුණෙහි අර්ථය නොවැටහෙයි නම් මත්තෙහි මාගෙන් ම ඒ කරුණ ඇසිය යුත්තේ ය. ‘ස්වාමීනී, මෙය කෙසේද? මෙහි අර්ථය කිමෙක් ද?’ මේ මත අපගේ කතා සල්ලාපය වන්නේ ය.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ අනුමත කළ යුතු කතාවක් ඇත්නම් එය මම අනුමත කරන්නෙමි. ප්‍රතික්ෂේප කළ යුත්තක් නම්, ප්‍රතික්ෂේප කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ යම් ම වදාළ දෙයක අර්ථය නොදන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් ම එය විමසා ලන්නෙමි. ‘ස්වාමීනී, මෙය කෙසේද? මෙහි අර්ථය කිමෙක් ද?’ මේ මත අපගේ කතා සල්ලාපය වන්නේ ය”

“වප්පයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? කාය කර්මය හේතුවෙන් දුක් තැවුල් ඇති කරවන යම් ආශ්‍රවයන් හටගනියි නම් ඒ කාය කර්මයෙන් වැළකී සිටින තැනැත්තාට මෙසේ ඒ දුක් තැවුල් ඇතිකරවන ආශ්‍රවයන් ඇති නොවෙයි ද, හේ අළුත් කර්මයකුත් නොකරයි නම්, පැරණි කර්මය ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් නැති කරයි නම්, මෙලොව දී ම ඒ කර්මයන් දිරා යයි නම්, එය අකාලික වූ ත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූ ත්, තමා තුළට පමුණුවා ගත යුතු වූ ත්, නුවණැත්තන් විසින් තමා තුළින් දත යුතු වූ ත් දෙයක් නම්, වප්පයෙනි, යම් කරුණෙකින් පුරුෂයා හට දුක් වේදනා ඇති කරන ආශ්‍රවයන් පරලොව තෙක් ලුහුබඳින්නේ වෙයි ද, එබඳු වූ කරුණක් එහිලා ඔබ දකින්නෙහි ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“වප්පයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? වචී කර්මය හේතුවෙන් දුක් තැවුල් ඇති කරවන යම් ආශ්‍රවයන් හටගනියි නම් ඒ වචී කර්මයෙන් වැළකී සිටින තැනැත්තාට මෙසේ ඒ දුක් තැවුල් ඇතිකරවන ආශ්‍රවයන් ඇති නොවෙයි ද, හේ අළුත් කර්මයකුත් නොකරයි නම්, පැරණි කර්මය ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් නැති කරයි නම්, මෙලොව දී ම ඒ කර්මයන් දිරා යයි නම්, එය අකාලික වූ ත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූ ත්, තමා තුළට පමුණුවා ගත යුතු වූ ත්, නුවණැත්තන් විසින් තමා තුළින් දත යුතු වූ ත් දෙයක් නම්, වප්පයෙනි, යම් කරුණෙකින් පුරුෂයා හට දුක් වේදනා ඇති කරන ආශ්‍රවයන් පරලොව තෙක් ලුහුබඳින්නේ වෙයි ද, එබඳු වූ කරුණක් එහිලා ඔබ දකින්නෙහි ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“වප්පයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? මනෝ කර්මය හේතුවෙන් දුක් තැවුල් ඇති කරවන යම් ආශ්‍රවයන් හටගනියි නම් ඒ මනෝ කර්මයෙන් වැළකී සිටින තැනැත්තාට මෙසේ ඒ දුක් තැවුල් ඇතිකරවන ආශ්‍රවයන් ඇති නොවෙයි ද, හේ අළුත් කර්මයකුත් නොකරයි නම්, පැරණි කර්මය ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් නැති කරයි නම්, මෙලොව දී ම ඒ කර්මයන් දිරා යයි නම්, එය අකාලික වූ ත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූ ත්, තමා තුළට පමුණුවා ගත යුතු වූ ත්, නුවණැත්තන් විසින් තමා තුළින් දත යුතු වූ ත් දෙයක් නම්, වප්පයෙනි, යම් කරුණෙකින් පුරුෂයා හට දුක් වේදනා ඇති කරන ආශ්‍රවයන් පරලොව තෙක් ලුහුබඳින්නේ වෙයි ද, එබඳු වූ කරුණක් එහිලා ඔබ දකින්නෙහි ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

“වප්පයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? අවිද්‍යාව හේතුවෙන් දුක් තැවුල් ඇති කරවන යම් ආශ්‍රවයන් හටගනියි නම් අවි්‍යාව දුරුවීමෙන්, විද්‍යාව ඉපදීමෙන් මෙසේ ඒ දුක් තැවුල් ඇතිකරවන ආශ්‍රවයන් ඇති නොවෙයි ද, හේ අළුත් කර්මයකුත් නොකරයි නම්, පැරණි කර්මය ස්පර්ශ කරමින් ස්පර්ශ කරමින් නැති කරයි නම්, මෙලොව දී ම ඒ කර්මයන් දිරා යයි නම්, එය අකාලික වූ ත්, ඇවිත් බලන්න යැයි කිව හැකි වූ ත්, තමා තුළට පමුණුවා ගත යුතු වූ ත්, නුවණැත්තන් විසින් තමා තුළින් දත යුතු වූ ත් දෙයක් නම්, වප්පයෙනි, යම් කරුණකින් පුරුෂයා හට දුක් වේදනා ඇති කරන ආශ්‍රවයන් පරලොව තෙක් ලුහුබඳින්නේ වෙයි ද, එබඳු වූ කරුණක් එහිලා ඔබ දකින්නෙහි ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”

වප්පයෙනි, මෙසේ මැනැවින් විමුක්තියට පත් සිත ඇති භික්ෂුව විසින් නිරතුරු ව සය වැදෑරුම් විහරණයකින් යුතු වෙයි. හේ ඇසින් රූපයක් දැක සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි. හේ කය පවතින තෙක් වේදනාවක් විඳින්නේ ද, කය පවතින තෙක් වේදනාවක් විඳිමි යැයි දන්නේ ය. ජීවිතය පවතින තෙක් වේදනාවක් විඳින්නේ ද, ජීවිතය පවතින තෙක් වේදනාවක් විඳිමි යැයි දන්නේ ය. කය බිඳී යාමෙන් ජීවිතය අවසන් වීමෙන් මෙහිදී ම ඒ නොපිළිගන්නා ලද සියළු විඳීම් සිහිල් වී යන්නේ ය යන කරුණ දන්නේ ය.

වප්පය, එය මෙබඳු දෙයකි. වෘක්ෂයක් හේතු කොට ඡායාවක් පැණෙයි. එකල්හී පුරුෂයෙක් උදල්ලක් හා පැසක් ගෙන එයි. හේ ඒ රුක මුලින් සිඳින්නේ ය. මුලින් සිඳ වටා සාරන්නේ ය. වටේ සාරා මුල් උදුරන්නේ ය. යටත් පිරිසයින් සැවැන්දරා මුල් තරමේ මුල් ද උදුරන්නේ ය. හේ ඒ වෘක්ෂය කැබලි කැබලි වලට සිඳින්නේ ය. කැබලි කැබලි වලට සිඳ පලන්නේ ය. පලා කුඩා කුඩා කැබලි කරන්නේ ය. කුඩා කුඩා කැබලි කොට අව්වේ වියළන්නේ ය. අව්වේ වියළවා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා අළු බවට පත් කරන්නේ ය. අළු බවට පත් කොට මහා සුළඟෙහි හෝ විසිරුවා හරින්නේ ය. ගඟක සැඩ පහරෙහි හෝ පා කොට හරින්නේ ය. වප්පයෙනි, මෙසේ වෘක්ෂය හේතුවෙන් යම් ඡායාවක් තිබුණේ ද, ඒ ඡායාව මුලින් ම සිඳී ගියේ ය. කරටිය සුන් තල් ගසක් මෙන් වූයේ ය. අභාවයට පත් වූයේ ය. යළි හට නොගන්නා ස්වභාවයට පත් වූයේ ය.

එසෙයින් ම වප්පයෙනි, මෙසේ මැනැවින් විමුක්තියට පත් සිත ඇති භික්ෂුව විසින් නිරතුරු ව සය වැදෑරුම් විහරණයකින් යුතු වෙයි. හේ ඇසින් රූපයක් දැක සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු වන්නේ ද නොවෙයි. නොසතුටු වන්නේ ද නොවෙයි. උපේක්ෂාවෙන් යුතුව මනා සිහි නුවණින් යුතුව වාසය කරයි. හේ කය පවතින තෙක් වේදනාවක් විඳින්නේ ද, කය පවතින තෙක් වේදනාවක් විඳිමි යැයි දන්නේ ය. ජීවිතය පවතින තෙක් වේදනාවක් විඳින්නේ ද, ජීවිතය පවතින තෙක් වේදනාවක් විඳිමි යැයි දන්නේ ය. කය බිඳී යාමෙන් ජීවිතය අවසන් වීමෙන් මෙහිදී ම ඒ නොපිළිගන්නා ලද සියළු විඳීම් සිහිල් වී යන්නේ ය යන කරුණ දන්නේ ය.”

මෙසේ වදාළ කල්හී නිගණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය. “ස්වාමීනී, පොලියක් ලබනු කැමති පුරුෂයෙක් අශ්ව පැටවෙකු පෝෂණය කරන්නේ වෙයි. හේ එයින් ලාභයක් ද නොලබයි. මත්තෙහි බොහෝ ක්ලාන්තයට ද, දුකට ද පත්වෙයි. එසෙයින් ම ස්වාමීනී, මම ලාභයක් කැමති ව අඥාන වූ නිගණ්ඨයන් ඇසුරු කළෙමි. ඒ මම ලාභයක් ද නොලැබුවෙමි. මත්තෙහි ක්ලාන්තයට ද, දුකට ද පත්වුණෙමි. ස්වාමීනී, ඒ මම අද පටන් අඥාන නිගණ්ඨයන් පිළිබඳ ව යම් පැහැදීමක් තිබුණේ ද, එය මහා සුළඟෙහි හෝ විසුරුවා හරමි. නදී සැඩ පහරෙහි හෝ පා කොට හරිමි. ස්වාමීනී, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

වප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M