අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.5.4. සාපූගීය සුත්තං

4.4.5.4. සාපූග නියම් ගමෙහි දී වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කෝලිය ජනපදයෙහි සාපූග නම් කෝලියවරුන්ගේ නියම් ගමෙහි වැඩවෙසෙති. එකල්හී බොහෝ සාපූගීය වාසී කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්හ. එකත්පස් ව හුන් සාපූගීයවාසී කෝලීය පුත්‍රයන් හට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.

“ව්‍යග්ඝපජ්ජයෙනි, මේ සතරක් වූ පාරිශුද්ධ පධාන අංගයෝ වෙති. සියල්ල දන්නා වූ, දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්මාවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස මැනැවින් වදාරණ ලද්දාහු ය. ඒ කවර සතරක් ද යත්;

සීලය නම් වූ පාරිශුද්ධ පධාන අංගය ය. සිත නම් වූ පාරිශුද්ධ පධාන අංගය ය. දෘෂ්ටිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය ය. විමුක්තිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය ය.

1. ව්‍යග්ඝපජ්ජයෙනි, සීලය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යනු කුමක් ද? ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය සීල පාරිශුද්ධිය යැයි කියනු ලැබේ. මෙසේ මෙබඳු වූ පාරිශුද්ධ සීලයක් අසම්පූර්ණ ව තිබේ නම් එය පරිපූර්ණ කරන්නෙමි යි කියා හෝ පරිපූර්ණ ව තිබේ නම් ඒ ඒ කරුණෙහිලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි කියා හෝ එහිලා යම් කැමැත්තක් ඇද්ද, වීර්යයක් ඇද්ද, උත්සාහයක් ඇද්ද, බලවත් උත්සාහයක් ඇද්ද, අත්නොහරින උත්සාහයක් ඇද්ද, සිහියක් නුවණක් ඇද්ද, ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය සීලය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යැයි කියනු ලැබේ.

2. ව්‍යග්ඝපජ්ජයෙනි, සිත නම් වූ පාරිශුද්ධ පධාන අංගය යනු කුමක් ද? ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු වෙනි ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වන ධ්‍යානය ….(පෙ)…. සතර වන ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය චිත්ත පාරිශුද්ධිය යැයි කියනු ලැබේ. මෙසේ මෙබඳු වූ පාරිශුද්ධ සිතක් අසම්පූර්ණ ව තිබේ නම් එය පරිපූර්ණ කරන්නෙමි යි කියා හෝ පරිපූර්ණ ව තිබේ නම් ඒ ඒ කරුණෙහිලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි කියා හෝ එහිලා යම් කැමැත්තක් ඇද්ද, වීර්යයක් ඇද්ද, උත්සාහයක් ඇද්ද, බලවත් උත්සාහයක් ඇද්ද, අත්නොහරින උත්සාහයක් ඇද්ද, සිහියක් නුවණක් ඇද්ද, ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය සිත නම් වූ පාරිශුද්ධ පධාන අංගය යැයි කියනු ලැබේ.

3. ව්‍යග්ඝපජ්ජයෙනි, දෘෂ්ටිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යනු කුමක් ද? ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා භික්ෂුව මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි ….(පෙ)…. මෙය දුක්ඛ සමුදය යැයි ….(පෙ)…. මෙය දුක්ඛ නිරෝධය යැයි ….(පෙ)…. මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය දෘෂ්ටි පාරිශුද්ධිය යැයි කියනු ලැබේ. මෙසේ මෙබඳු වූ පාරිශුද්ධ දෘෂ්ටියක් අසම්පූර්ණ ව තිබේ නම් එය පරිපූර්ණ කරන්නෙමි යි කියා හෝ පරිපූර්ණ ව තිබේ නම් ඒ ඒ කරුණෙහිලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි කියා හෝ එහිලා යම් කැමැත්තක් ඇද්ද, වීර්යයක් ඇද්ද, උත්සාහයක් ඇද්ද, බලවත් උත්සාහයක් ඇද්ද, අත්නොහරින උත්සාහයක් ඇද්ද, සිහියක් නුවණක් ඇද්ද, ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය දෘෂ්ටිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යැයි කියනු ලැබේ.

4. ව්‍යග්ඝපජ්ජයෙනි, විමුක්තිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යනු කුමක් ද? ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා ඒ ආර්ය ශ්‍රාවකයා මේ සීලය නම් වූ පාරිශුද්ධ පධාන අංගයෙන් ද සමන්විත වූයේ, මේ සිත නම් වූ පාරිශුද්ධ පධාන අංගයෙන් ද සමන්විත වූයේ, මේ දෘෂ්ටිය නම් වූ පාරිශුද්ධ පධාන අංගයෙන් ද සමන්විත වූයේ රාගය ඇති කරවන කරුණු වලින් සිත වෙන් කරයි. මුදවාගත යුතු කරුණු වලින් සිත මුදවා ගනියි. හේ රාගය ඇති වන කරුණු වලින් සිත වෙන් කොට, මුදවා ගත යුතු කරුණු වලින් සිත මුදවා මනාකොට විමුක්තිය ස්පර්ශ කරයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය විමුක්ති පාරිශුද්ධිය යැයි කියනු ලැබේ. මෙසේ මෙබඳු වූ පාරිශුද්ධ විමුක්තියක් අසම්පූර්ණ ව තිබේ නම් එය පරිපූර්ණ කරන්නෙමි යි කියා හෝ පරිපූර්ණ ව තිබේ නම් ඒ ඒ කරුණෙහිලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි කියා හෝ එහිලා යම් කැමැත්තක් ඇද්ද, වීර්යයක් ඇද්ද, උත්සාහයක් ඇද්ද, බලවත් උත්සාහයක් ඇද්ද, අත්නොහරින උත්සාහයක් ඇද්ද, සිහියක් නුවණක් ඇද්ද, ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය විමුක්තිය නම් වූ පාරිශුද්ධ පධාන අංගය යැයි කියනු ලැබේ.

ව්‍යග්ඝපජ්ජයෙනි, මේ සතරක් වූ පාරිශුද්ධ පධාන අංගයෝ වෙති. සියල්ල දන්නා වූ, දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්මාවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස මැනැවින් වදාරණ ලද්දාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සාපූගීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M