අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.5.3. භද්දිය සුත්තං

4.4.5.3. භද්දිය ලිච්ඡවි හට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටා ගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී භද්දිය ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්දිය ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මා විසින් මෙය අසන ලද්දේ ය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා ඇත්තාහු ය. යම් වූ මායාවකින් අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් අද්දවාගනිත් ද ඒ ආවර්තනී මායාව දනිති’ යි. ස්වාමීනී, යමෙක් ඔය අයුරින් පැවසුවාහු ද, එනම් ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා ඇත්තාහු ය. යම් වූ මායාවකින් අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් අද්දවාගනිත් ද ඒ ආවර්තනී මායාව දනිති’ යි. ස්වාමීනී, කිම? ඔවුන් විසින් පවසනු ලැබුවේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙයක් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරත් ද? ධර්මයට අනුකූල වූ දෙයක් පවසත් ද? නුවණැත්තන් කරුණු සහිත ව පවසන ලද දෙයක දී ගැරහීමකට පත් නොවන්නක් ද? ස්වාමීනී, අපි වනාහී භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නට කැමැත්තෙමු.”

“භද්දිය, ඔබ එන්න. ඇසූ පරිද්දෙන් නොගන්න. පරම්පරාවෙන් ආවේ යැයි නොගන්න. එය මෙසේ වූයේ යැයි නොගන්න. අපගේ පොත්වල ඇති කරුණකැයි නොගන්න. තර්ක හේතුවෙන් නොගන්න. න්‍යායට ගැලපුණේ යැයි නොගන්න. නොයෙක් අයුරින් කල්පනා කිරීමෙන් නොගන්න. දෘෂ්ටියකට බැසගැනීමෙන් නොගන්න. පෙනෙන හැටියට හරි නෙව යැයි නොගන්න. ශ්‍රමණ තෙමේ අපගේ ආචාර්යවරයා යැයි නොගන්න. භද්දිය, යම් කලක ඔබ තමා ම දැනගන්නහු නම් මේ දහම් අකුසල් ය, මේ දහම් වරදින් යුක්ත ය, මේ දහම් නැණවතුන් ගරහන ලද්දේ ය, මේ දහම් සමාදන් ව පුරුදු කරන්නෙකුට අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ යැයි. එකල්හී භද්දිය ඔබ එය බැහැර කරන්න.

භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? පුරුෂයාගේ සිතෙහි ලෝභය හටගන්නේ නම් එය හිත පිණිස පවතින්නේ වෙයි ද? අහිත පිණිස පවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, අහිත පිණිස ය.” “භද්දිය, ලෝභී වූ ත් මේ පුරුෂ පුද්ගල තෙමේ ලෝභයට යට වූ සිතින්, ලෝභය වෙලා ගන්නා සිතින් යුක්ත වූයේ සතුන් ද මරයි. සොරකම් ද කරයි. පර අඹුවන් කරා ද යයි. බොරු ත් කියයි. අන් අය ව ත් ඒ අකුසල්හි සමාදන් කරවයි. එය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ වෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? පුරුෂයාගේ සිතෙහි ද්වේෂය හටගන්නේ නම් ….(පෙ)…. මෝහය හටගන්නේ නම් ….(පෙ)…. පුරුෂයාගේ සිතෙහි එකටඑක කිරීම හටගන්නේ නම් එය හිත පිණිස පවතින්නේ වෙයි ද? අහිත පිණිස පවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, අහිත පිණිස ය.” “භද්දිය, එකට එක කරන්නා වූ ත් මේ පුරුෂ පුද්ගල තෙමේ එකට එක කිරීමට යට වූ සිතින්, එකට එක කිරීම වෙලා ගන්නා සිතින් යුක්ත වූයේ සතුන් ද මරයි. සොරකම් ද කරයි. පර අඹුවන් කරා ද යයි. බොරු ත් කියයි. අන් අය ව ත් ඒ අකුසල්හි සමාදන් කරවයි. එය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ වෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? ඔය පැවසූ කරුණ කුසල් වෙයි ද? අකුසල් වෙයි ද?” “ස්වාමීනී, අකුසල් ය.” “දොසින් යුක්ත වෙයි ද? නිර්දෝෂී වෙයි ද?” “ස්වාමීනී, දොසින් යුක්ත ය.” “නුවණැත්තන් ගරහන ලද්දේ වෙයි ද? නුවණැත්තන් පසසන ලද්දේ වෙයි ද?” “ස්වාමීනී, නුවණැත්තන් ගරහන ලද්දේ ය.” “මෙය සමාදන් ව පුරුදු කරන්නාට අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ වෙයි ද? නොහොත් නොපවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, මෙය සමාදන් ව පුරුදු කරන්නාට අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය. ස්වාමීනී, ඒ පිළිබඳ ව අපගේ අදහස ත් මෙසේ ය.”

“භද්දිය, යම් කරුණක් අපි පැවසුවෙමු ද, එනම්, ‘භද්දිය, ඔබ එන්න. ඇසූ පරිද්දෙන් නොගන්න. පරම්පරාවෙන් ආවේ යැයි නොගන්න. එය මෙසේ වූයේ යැයි නොගන්න. ….(පෙ)…. භද්දිය, යම් කලක ඔබ තමා ම දැනගන්නහු නම් මේ දහම් අකුසල් ය, මේ දහම් වරදින් යුක්ත ය, මේ දහම් නැණවතුන් ගරහන ලද්දේ ය, මේ දහම් සමාදන් ව පුරුදු කරන්නෙකුට අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ යැයි. එකල්හී භද්දිය, ඔබ එය බැහැර කරන්න’ යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය පවසන ලද්දේ මෙකරුණ සඳහා ය.

භද්දිය, ඔබ එන්න. ඇසූ පරිද්දෙන් නොගන්න. පරම්පරාවෙන් ආවේ යැයි නොගන්න. එය මෙසේ වූයේ යැයි නොගන්න. අපගේ පොත්වල ඇති කරුණකැයි නොගන්න. තර්ක හේතුවෙන් නොගන්න. න්‍යායට ගැලපුණේ යැයි නොගන්න. නොයෙක් අයුරින් කල්පනා කිරීමෙන් නොගන්න. දෘෂ්ටියකට බැසගැනීමෙන් නොගන්න. පෙනෙන හැටියට හරි නෙව යැයි නොගන්න. ශ්‍රමණ තෙමේ අපගේ ආචාර්යවරයා යැයි නොගන්න. භද්දිය, යම් කලෙක ඔබ තමා ම දැනගන්නහු නම් මේ දහම් කුසල් ය, මේ දහම් වරදින් තොර ය, මේ දහම් නැණවතුන් පසසන ලද්දේ ය, මේ දහම් සමාදන් ව පුරුදු කරන්නෙකුට හිත පිණිස, සුව පිණිස පවතින්නේ යැයි. එකල්හී භද්දිය, ඔබ එය ඇති කරගෙන වාසය කරන්න.

භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? පුරුෂයාගේ සිතෙහි අලෝභය හටගන්නේ නම් එය හිත පිණිස පවතින්නේ වෙයි ද? අහිත පිණිස පවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, හිත පිණිස ය.” “භද්දිය, අලෝභී වූ ත් මේ පුරුෂ පුද්ගල තෙමේ ලෝභයට යට නොවූ සිතින්, ලෝභය වෙලා නොගන්නා සිතින් යුක්ත වූයේ සතුන් ද නොමරයි. සොරකම් ද නොකරයි. පර අඹුවන් කරා ද නොයයි. බොරු ත් නොකියයි. අන් අය ව ත් ඒ කුසල්හි සමාදන් කරවයි. එය ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ වෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? පුරුෂයාගේ සිතෙහි අද්වේෂය හටගන්නේ නම් ….(පෙ)…. අමෝහය හටගන්නේ නම් ….(පෙ)…. පුරුෂයාගේ සිතෙහි එකටඑක නොකිරීම හටගන්නේ නම් එය හිත පිණිස පවතින්නේ වෙයි ද? අහිත පිණිස පවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, හිත පිණිස ය.” “භද්දිය, එකට එක නොකරන්නා වූ ත් මේ පුරුෂ පුද්ගල තෙමේ එකට එක කිරීමට යට නොවූ සිතින්, එකට එක කිරීම වෙලා නොගන්නා සිතින් යුක්ත වූයේ සතුන් ද නොමරයි. සොරකම් ද නොකරයි. පර අඹුවන් කරා ද නොයයි. බොරු ත් නොකියයි. අන් අය ව ත් ඒ කුසල්හි සමාදන් කරවයි. එය ඔහුට බොහෝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතින්නේ වෙයි ද?” “එසේ ය, ස්වාමීනී.”

“භද්දිය, මේ ගැන කුමක් සිතව් ද? ඔය පැවසූ කරුණ කුසල් වෙයි ද? අකුසල් වෙයි ද?” “ස්වාමීනී, කුසල් ය.” “දොසින් යුක්ත වෙයි ද? නිර්දෝෂී වෙයි ද?” “ස්වාමීනී, නිර්දෝෂී ය.” “නුවණැත්තන් ගරහන ලද්දේ වෙයි ද? නුවණැත්තන් පසසන ලද්දේ වෙයි ද?” “ස්වාමීනී, නුවණැත්තන් පසසන ලද්දේ ය.” “මෙය සමාදන් ව පුරුදු කරන්නාට හිත පිණිස, සුව පිණිස පවතින්නේ වෙයි ද? නොහොත් නොපවතින්නේ වෙයි ද?” “ස්වාමීනී, මෙය සමාදන් ව පුරුදු කරන්නාට හිත පිණිස, සුව පිණිස පවතින්නේ ය. ස්වාමීනී, ඒ පිළිබඳ ව අපගේ අදහස ත් මෙසේ ය.”

“භද්දිය, යම් කරුණක් අපි පැවසුවෙමු ද, එනම්, ‘භද්දිය, ඔබ එන්න. ඇසූ පරිද්දෙන් නොගන්න. පරම්පරාවෙන් ආවේ යැයි නොගන්න. එය මෙසේ වූයේ යැයි නොගන්න. අපගේ පොත්වල ඇති කරුණකැයි නොගන්න. තර්ක හේතුවෙන් නොගන්න. න්‍යායට ගැලපුණේ යැයි නොගන්න. නොයෙක් අයුරින් කල්පනා කිරීමෙන් නොගන්න. දෘෂ්ටියකට බැසගැනීමෙන් නොගන්න. පෙනෙන හැටියට හරි නෙව යැයි නොගන්න. ශ්‍රමණ තෙමේ අපගේ ආචාර්යවරයා යැයි නොගන්න. භද්දිය, යම් කලක ඔබ තමා ම දැනගන්නහු නම් මේ දහම් කුසල් ය, මේ දහම් වරදින් තොර ය, මේ දහම් නැණවතුන් පසසන ලද්දේ ය, මේ දහම් සමාදන් ව පුරුදු කරන්නෙකුට හිත පිණිස, සුව පිණිස පවතින්නේ යැයි. එකල්හී භද්දිය, ඔබ එය ඇති කරගෙන වාසය කරන්න.’ යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය පවසන ලද්දේ මෙකරුණ සඳහා ය.

භද්දිය, ලෝකයෙහි යම් සත්පුරුෂයෝ සිටිත් ද, ඔවුහු ශ්‍රාවකයා මේ අයුරින් සමාදන් කරවති. ‘එම්බා පුරුෂය, ඔබ එන්න. ලෝභය නැවත නැවත දුරුකරමින් වසන්න. ලෝභය නැවත නැවත දුරු කරමින් වසන විට ලෝභයෙන් හටගත් කර්මයන් කයින්, වචනයෙන්, මනසින් නොකරන්නෙහි ය. ද්වේෂය නැවත නැවත දුරුකරමින් වසන්න. ද්වේෂය නැවත නැවත දුරු කරමින් වසන විට ද්වේෂයෙන් හටගත් කර්මයන් කයින්, වචනයෙන්, මනසින් නොකරන්නෙහි ය. මෝහය නැවත නැවත දුරුකරමින් වසන්න. මෝහය නැවත නැවත දුරු කරමින් වසන විට මෝහයෙන් හටගත් කර්මයන් කයින්, වචනයෙන්, මනසින් නොකරන්නෙහි ය. එකට එක කිරීම නැවත නැවත දුරුකරමින් වසන්න. එකට එක කිරීම නැවත නැවත දුරු කරමින් වසන විට එකට එක කිරීමෙන් හටගත් කර්මයන් කයින්, වචනයෙන්, මනසින් නොකරන්නෙහි ය.”

මෙසේ වදාළ කල්හී භද්දිය ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

“භද්දිය, මම ඔබට ඔය අයුරින් පැවසුවෙම් ද? එනම් ‘භද්දිය, එන්න. මාගේ ශ්‍රාවකයෙක් වෙන්න. මම ඔබට ශාස්තෘ වන්නෙමි’ යි?” “ස්වාමීනී, එසේ නොවදාළේ ම ය.”

“භද්දිය, මෙබඳු වූ දෙයක් පවසන මා හට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අසත්‍ය වූ, හිස් වූ, බොරු වූ අභූතයෙන් චෝදනා කරති. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා ඇත්තාහු ය. යම් වූ මායාවකින් අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් අද්දවාගනිත් ද ඒ ආවර්තනී මායාව දනිති’ යි.”

“ස්වාමීනී, ඒ ආවර්තනී මායාව සොඳුරු ය. ස්වාමීනී, ඒ ආවර්තනී මායාව කල්‍යාණ ය. ස්වාමීනී, මාගේ ප්‍රිය වූ ඥාති, ලේ ඥාතීහු මේ ආවර්තනී මායාවෙන් කැරකී එත් නම්, මාගේ ප්‍රිය වූ ඥාති, ලේ ඥාතීන් හට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ය. ස්වාමීනී, සියළු ම ක්ෂත්‍රියයෝ ත් මේ ආවර්තනී මායාවෙන් කැරකී එත් නම්, ඒ සියළු ම ක්ෂත්‍රියයන් හට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ය. ස්වාමීනී, සියළු ම බ්‍රාහ්මණයෝ ත් ….(පෙ)…. වෛශ්‍යයෝ ත් ….(පෙ)…. ශුද්‍රයෝ ත් මේ ආවර්තනී මායාවෙන් කැරකී එත් නම්, ඒ සියළුම ශුද්‍රයන් හට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ය.”

“භද්දිය, එය එසේ ම ය. භද්දිය, එය එසේ ම ය. භද්දිය, ඉදින් සියළු ක්ෂත්‍රියයෝ ම අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපදවීම පිණිස කැරකී එත් නම්, ඒ සියළු ක්ෂත්‍රියයන්ට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය. ඉදින් සියළු බ්‍රාහ්මණයෝ ….(පෙ)…. වෛශ්‍යයෝ ….(පෙ)…. ශුද්‍රයෝ අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපදවීම පිණිස කැරකී එත් නම්, ඒ සියළු ශුද්‍රයන්ට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය. භද්දිය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු සියළු සත්වයෝ අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපදවීම පිණිස කැරකී එත් නම්, ඒ සියළු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු සියළු සත්වයන්ට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය. භද්දිය, ඉදින් මේ මහා සල් රුක් පවා අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපදවීම පිණිස මේ ආවර්තනී මායාවෙන් කැරකී එයි නම්, මේ සාල වෘක්ෂයන් හට ද බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය. මනුෂ්‍යයන් ගැන කවර කථා ද?”

සාදු! සාදු!! සාදු!!!

භද්දිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M