එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී සාළ්හ ලිච්ඡවි ද, අභය ලිච්ඡවි ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් සාළ්හ ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේ ය.
“ස්වාමීනී, සීල විශුද්ධිය හේතුවෙනුත්, තපෝ ජුගුප්සා හේතුවෙනුත් යන මේ දෙකරුණෙන් සසර සැඩපහරින් එතෙර වීම පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. මෙහිලා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක් ද?”
“සාළ්හයෙනි, මම සීල විශුද්ධිය එක්තරා ශ්‍රමණ අංගයක් යැයි පවසමි. සාළ්හයෙනි, තපෝ ජුගුප්සාව ගැන කියන, තපෝ ජුගුප්සාව සාර කොට ගත් තපෝ ජුගුප්සාවෙහි ඇළුණු යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත් ද, සසර සැඩපහර තරණය කිරීමට ඔවුන්ට හැකියාවක් නැත්තේ ය. සාළ්හයෙනි, අපරිශුද්ධ කාය කර්ම ඇති, අපරිශුද්ධ වචී කර්ම ඇති, අපරිශුද්ධ මනෝ කර්ම ඇති, අපරිශුද්ධ ජීවිකාව ඇති යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, ඥාන දර්ශනයෙන් යුතු අනුත්තර වූ අවබෝධය ලබන්නට ඔවුන්ට ද හැකියාවක් නැත්තේ ය.
සාළ්හයෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් නදියකින් එතෙර වනු කැමති වෙයි. හේ පොරොවක් ගෙන වනයට පිවිසෙයි. හේ එහිදී මහත් වූ, ඍජු වූ, නිසැක අරටු ඇති සල් රුකක් දකියි. හේ ඒ සල් රුක මුලින් සිඳින්නේ ය. මුලින් සිඳ අග ත් සිඳින්නේ ය. අගින් සිඳ අතු පතර මැනැවින් පිරිසිදු කරන්නේ ය. අතුපතර මැනැවින් පිරිසිදු කොට පොරොවෙන් සහින්නේ ය. පොරොවෙන් සැස වෑයෙන් සහින්නේ ය. වෑයෙන් සැස ලියන සැතින් ලියන්නේ ය. ලියන සැතින් ලියා යකඩ ඇණයෙන් තද කරන්නේ ය. යකඩ ඇණයෙන් තද කොට නදී තරණයට වෑයම් කරන්නේ ය. සාළ්හයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඒ පුද්ගලයා නදිය තරණය කරන්නට සුදුසු වෙයි ද?” “ස්වාමීනී, එය නොවන්නේ ය.” “එයට හේතුව කුමක් ද?” “ස්වාමීනී, ඒ සල් කඳ බාහිරින් පිරියම් කරන ලද නමුත් ඇතුළ අපිරිසිදු වෙයි. ඔහු කැමති විය යුත්තේ මෙය යි. එනම් ඒ සල් කඳ ගිලෙන්නේ ය. පුරුෂයා ද ව්‍යසනයකට පත්වන්නේ ය යන්නයි.”
“එසෙයින් ම සාළ්හයෙනි, තපෝ ජුගුප්සාව ගැන කියන, තපෝ ජුගුප්සාව සාර කොට ගත් තපෝ ජුගුප්සාවෙහි ඇළුණු යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත් ද, සසර සැඩපහර තරණය කිරීමට ඔවුන්ට හැකියාවක් නැත්තේ ය. සාළ්හයෙනි, අපරිශුද්ධ කාය කර්ම ඇති, අපරිශුද්ධ වචී කර්ම ඇති, අපරිශුද්ධ මනෝ කර්ම ඇති, අපරිශුද්ධ ජීවිකාව ඇති යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, ඥාන දර්ශනයෙන් යුතු අනුත්තර වූ අවබෝධය ලබන්නට ඔවුන්ට ද හැකියාවක් නැත්තේ ය.
සාළ්හයෙනි, තපෝ ජුගුප්සාව ගැන නොකියන, තපෝ ජුගුප්සාව සාර කොට නොගත් තපෝ ජුගුප්සාවෙහි නොඇළුණු යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත් ද, සසර සැඩපහර තරණය කිරීමට ඔවුන්ට හැකියාවක් ඇත්තේ ය. සාළ්හයෙනි, පරිශුද්ධ කාය කර්ම ඇති, පරිශුද්ධ වචී කර්ම ඇති, පරිශුද්ධ මනෝ කර්ම ඇති, පරිශුද්ධ ජීවිකාව ඇති යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, ඥාන දර්ශනයෙන් යුතු අනුත්තර වූ අවබෝධය ලබන්නට ඔවුන්ට ද හැකියාවක් ඇත්තේ ය.
සාළ්හයෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් නදියකින් එතෙර වනු කැමති වෙයි. හේ පොරොවක් ගෙන වනයට පිවිසෙයි. හේ එහිදී මහත් වූ, ඍජු වූ, නිසැක අරටු ඇති සල් රුකක් දකියි. හේ ඒ සල් රුක මුලින් සිඳින්නේ ය. මුලින් සිඳ අග ත් සිඳින්නේ ය. අගින් සිඳ අතු පතර මැනැවින් පිරිසිදු කරන්නේ ය. අතුපතර මැනැවින් පිරිසිදු කොට පොරොවෙන් සහින්නේ ය. පොරොවෙන් සැස වෑයෙන් සහින්නේ ය. වෑයෙන් සැස ලියන සැතින් ලියන්නේ ය. ලියන සැතින් ලියා යකඩ ඇණයෙන් තද කරන්නේ ය. යකඩ ඇණයෙන් තද කොට ඔරුවක් කරන්නේ ය. ඔරුවක් කොට පළුපත් හා රිටි බඳින්නේ ය. පළුපත් හා රිටි බැඳ නදී තරණයට වෑයම් කරන්නේ ය. සාළ්හයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඒ පුද්ගලයා නදිය තරණය කරන්නට සුදුසු වෙයි ද?” “එසේය ස්වාමීනී.” “එයට හේතුව කුමක් ද?” “ස්වාමීනී, ඒ සල් කඳ බාහිරින් ද පිරියම් කරන ලද්දේ ඇතුළින් ද මැනැවින් පිරිසිදු කරන ලද්දේ ඔරුවක් කරන ලද්දේ වෙයි. පළුපත් රිටි බඳින ලද්දේ වෙයි. ඔහු කැමති විය යුත්තේ මෙය යි. එනම් ඒ ඔරුව නොගිලෙන්නේ ය. පුරුෂයා ද සුවසේ එතෙර යන්නේ ය යන්නයි.”
“එසෙයින් ම සාළ්හයෙනි, තපෝ ජුගුප්සාව ගැන නොකියන, තපෝ ජුගුප්සාව සාර කොට නොගත් තපෝ ජුගුප්සාවෙහි නොඇළුණු යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත් ද, සසර සැඩපහර තරණය කිරීමට ඔවුන්ට හැකියාවක් ඇත්තේ ය. සාළ්හයෙනි, පරිශුද්ධ කාය කර්ම ඇති, පරිශුද්ධ වචී කර්ම ඇති, පරිශුද්ධ මනෝ කර්ම ඇති, පරිශුද්ධ ජීවිකාව ඇති යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, ඥාන දර්ශනයෙන් යුතු අනුත්තර වූ අවබෝධය ලබන්නට ඔවුන්ට ද හැකියාවක් ඇත්තේ ය.
සාළ්හයෙනි, එය මෙබඳු දෙයකි. යුද භටයෙක් බොහෝ කණ්ඩචිත්‍ර දන්නේ වෙයි. නමුත් හේ තුන් කරුණකින් රජුට යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය සංඛ්‍යාවයට යයි. ඒ කවර තුන් කරුණකින් ද යත්, ඈතට විදින්නේ වෙයි. අකුණු එළියෙන් විදින්නේ ත් වෙයි. මහත් වූ සතුරු කය බිඳලන්නේ වෙයි. සාළ්හයෙනි, යම් සේ යුද භටයා දුරට විදින්නේ වෙයි ද, සාළ්හයෙනි, එසෙයින් ම ආර්ය ශ්‍රාවකයා සම්මා සමාධිය ඇත්තේ වෙයි. සාළ්හයෙනි, සම්මා සමාධියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා යම්කිසි රූපයක් අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, පහත් වේවා, උසස් වේවා, දුර හෝ ළඟ හෝ යමක් වේවා ඒ සියළු රූප ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යැයි ඇත්ත ඇති සැටියෙන් ම මනා වූ ප්‍රඥාවෙන් දකියි. යම්කිසි විඳීමක් ….(පෙ)…. යම්කිසි සංඥාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාරයක් ….(පෙ)…. යම්කිසි විඤ්ඤාණයක් අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, පහත් වේවා, උසස් වේවා, දුර හෝ ළඟ හෝ යමක් වේවා ඒ සියළු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යැයි ඇත්ත ඇති සැටියෙන් ම මනා වූ ප්‍රඥාවෙන් දකියි.
සාළ්හයෙනි, යම් සේ යුද භටයා අකුණු එළියෙන් විදින්නේ වෙයි ද, එසෙයින් ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි. සාළ්හයෙනි, සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. ….(පෙ)…. මේ දුකෙහි හටගැනීම යැයි ….(පෙ)…. මෙය දුකෙහි නිරෝධය යැයි ….(පෙ)…. මෙය දුක් නිරුද්ධ වන මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි.
සාළ්හයෙනි, යම් සේ යුද භටයා මහත් වූ සතුරු සේනා කය බිඳින්නේ වෙයි ද, එසෙයින් ම සාළ්හයෙනි, ආර්ය ශ්‍රවකයා මැනැවින් ම විමුක්තියට පත්වන්නේ වෙයි. සාළ්හයෙනි, නිවැරදි විමුක්තියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා මහත් වූ අවිද්‍යා කඳ පළන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සාළ්හ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M