එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූටයෙහි වැඩවසන සේක. එකල්හී මණ්ඩිකාපුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මණ්ඩිකාපුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මම මෙබඳු දේ පවසන්නෙක්මි. මෙබඳු දෘෂ්ටිගතිකයෙක්මි. ‘යමෙක් අනුන් හට කිසියම් අයුරකින් ගරහයි ද, ඒ අනුන්ට ගැරහීම කරන්නේ නම් ඒ සියළු දෙයින් හේ කුසලයක් නම් නොකරයි. හේ කුසල් නොකරන හෙයින් ගැරහිය යුත්තේ වෙයි. උපවාද කළ යුත්තේ වෙයි.”
“උපකය, ඉදින් අනුන්ට ගරහයි නම්, අනුන්ට ගැරහීම හේතුවෙන් කුසල් නොකරයි නම්, ඒ කුසල් නොකිරීම ගැරහිය යුතු දෙයක් නම්, උපවාද කටයුතු දෙයක් නම්, උපකය, ඔබ අනුන්ට ගරහන්නෙහි ය. අනුන්ට ගරහමින් කුසල් නොකරන්නෙහි ය. කුසල් නොකරන හෙයින් ගැරහිය යුතු වන්නෙහි ය. උපවාද කළ යුත්තෙහි ය.”
“ස්වාමීනී, යම් සේ දියෙන් උඩට හිස ඔසොවද්දී මහත් මළපුඩුවකින් සිර කොට බඳින්නේ වෙයි ද, එසෙයින් ම ස්වාමීනී, මම දියෙන් උඩට හිස ඔසොවද්දී ම භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාද මළපුඩුවකින් බඳිනා ලද්දෙමි.”
“උපකය, මා විසින් මෙය අකුසලය යැයි පණවන ලද්දේ ය. එහිලා අප්‍රමාණ පදයන්ගෙන් ද, අප්‍රමාණ ප්‍රකාශනයන්ගෙන් ද, අප්‍රමාණ ලෙස තථාගතයන්ගේ ධර්ම දේශනාවෙන් ද, මෙසේ ත් මෙය අකුසලය යැයි පණවන ලද්දේ ය.
උපකය, මා විසින් මෙම අකුසලය ප්‍රහාණය කළ යුතු යැයි පණවන ලද්දේ ය. එහිලා අප්‍රමාණ පදයන්ගෙන් ද, අප්‍රමාණ ප්‍රකාශනයන්ගෙන් ද, අප්‍රමාණ ලෙස තථාගතයන්ගේ ධර්ම දේශනාවෙන් ද, මෙසේ ත් මෙම අකුසලය ප්‍රහාණය කළ යුතු යැයි පණවන ලද්දේ ය.
උපකය, මා විසින් මෙය කුසලය යැයි පණවන ලද්දේ ය. එහිලා අප්‍රමාණ පදයන්ගෙන් ද, අප්‍රමාණ ප්‍රකාශනයන්ගෙන් ද, අප්‍රමාණ ලෙස තථාගතයන්ගේ ධර්ම දේශනාවෙන් ද, මෙසේ ත් මෙය කුසලය යැයි පණවන ලද්දේ ය.
උපකය, මා විසින් මෙම කුසලය දියුණු කරගත යුත්තේ යැයි පණවන ලද්දේ ය. එහිලා අප්‍රමාණ පදයන්ගෙන් ද, අප්‍රමාණ ප්‍රකාශනයන්ගෙන් ද, අප්‍රමාණ ලෙස තථාගතයන්ගේ ධර්ම දේශනාවෙන් ද, මෙසේ ත් මෙම කුසලය දියුණු කරගත යුත්තේ යැයි පණවන ලද්දේ ය.”
ඉක්බිති මණ්ඩිකාපුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට යම් තැනක වේදේහිපුත්‍ර මගධේශ්වර අජාසත් රජු සිටියේ ද, එතැනට ගියේ ය. ගොස් භාග්‍යතුන් වහන්සේ සමඟ වූ යම් කතා සල්ලාපයක් වෙයි ද, ඒ සියල්ල වේදේහිපුත්‍ර මගධේශ්වර අජාසත් රජුට පැවසුවේ ය. මෙසේ පැවසූ කල්හී වේදේහිපුත්‍ර මගධේශ්වර අජාසත් රජු කිපුණේ, නොසතුටට පත්වූයේ මණ්ඩිකාපුත්‍ර උපක හට මෙය පැවසුවේ ය.
“මේ ලෝණකාරක කොළුගැටයා අනුන්ගේ ගුණ නසන්නෙකි. ඉතා කෙළතොළුවෙකි. ඉතා නොහික්මුණෙකි. යම් සේ නම් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැටිය යුත්තෙකු කොට සිතුවේ නොවැ. උපකය, නුඹ පහව යව. නැසී යව. නුඹ ව දකින්නට නොලැබේවා” යි.
සාදු! සාදු!! සාදු!!!
උපක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M