අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.7. දුතිය වස්සකාර සුත්තං

4.4.4.7. වස්සකාර බ්‍රහ්මණයාට වදාළ දෙවෙනි දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හී මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, අසත්පුරුෂ තෙමේ අසත්පුරුෂයෙකු ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’යි දන්නේ ද?”

“බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයකි.”

“භවත් ගෞතමයන් වහන්ස, අසත්පුරුෂ තෙමේ සත්පුරුෂයෙකු ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’යි දන්නේ ද?”

“බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයකි.”

“භවත් ගෞතමයන් වහන්ස, සත්පුරුෂ තෙමේ සත්පුරුෂයෙකු ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’යි දන්නේ ද?”

“බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයකි.”

“භවත් ගෞතමයන් වහන්ස, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයෙකු ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’යි දන්නේ ද?”

“බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයකි.”

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය ය! භවත් ගෞතමයන් වහන්ස, අද්භූත ය! භවත් ගෞතමයන් වහන්සේ විසින් කොතරම් සුභාෂිතයක් වදාරණ ලද්දේ ද. ‘බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයක්’ ය යන කරුණ යි.

භවත් ගෞතමයන් වහන්ස, එක් කලක තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පිරිස අතර අන්‍යයන්ට මෙබඳු අපහාස කිරීමක් ඇතිවිය. ‘මේ ඵලෙය්‍ය රජු අඥානයෙකි. යමෙක් රාමපුත්ත ශ්‍රමණයා කෙරෙහි පැහැදුණේ ද, රාමපුත්ත ශ්‍රමණයා හට යම් මේ වන්දනා කිරීම්, නැගිට පෙරට යාම්, ඇඳිලි බැඳ වැඳීම්, සතුටු සාමීචි කතා බහ ආදී මෙබඳු උදාර යටහත් පැවතුම් කරන්නේ ද, මෙය බාල කමකි. එමෙන් ම යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකී, ගන්ධබ්බ, අග්ගිවෙස්ස යන මේ ඵලෙය්‍ය රජුගේ පිරිස ද බාලයෝ ය. ඔවුනුත් රාමපුත්ත ශ්‍රමණයාට පැහැදුණහ. රාමපුත්ත ශ්‍රමණයා කෙරෙහි මෙබඳු වූ යටහත් පැවැතුම් දක්වති. එනම් ගෞරව දැක්වීම්, නැගිට පෙර ගමන් කිරීම්, ඇඳිලි බැඳීම්, සතුටු සාමීචි ආදිය යි.

එකල්හී තෝදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේ ඔවුන් මේ ක්‍රමයට හඳුන්වයි. ‘භවත්නි, ඒ කිමෙකැයි සිතව් ද? ඵලෙය්‍ය රජ තෙමේ කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තෙක් වෙයි ද, කරුණු වටහා ගන්නවුන් අතුරෙහි කරුණු වටහා ගන්නෙක් ද?’ ‘එසේ ය, භවත. ඵලෙය්‍ය රජ තෙමේ කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තෙකි. කරුණු වටහා ගන්නවුන් අතුරෙහි කරුණු වටහා ගන්නෙකි.’

‘භවත්නි, යම් කරුණකින් රාමපුත්ත ශ්‍රමණ තෙමේ ඵලෙය්‍ය රජුට වඩා කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තෙකුට ත් වඩා නුවණැත්තෙක් වෙයි ද, කරුණු වටහා ගන්නවුන් අතුරෙහි වඩාත් කරුණු වටහා ගන්නෙක් වෙයි ද, එනිසා ය ඵලෙය්‍ය රජ තෙමේ ශ්‍රමණ රාමපුත්තයන් හට පැහැදුණේ. ශ්‍රමණ රාමපුත්‍රයන් කෙරෙහි මෙබඳු වූ වන්දනා කිරීම්, නැගිටීම්, ඇඳිලි බැඳීම්, මිහිරි තෙපුල් පැවසීම් ආදිය පරම ගෞරවාකාරයක් දක්වන්නේ.’

‘භවත්නි, ඔබ කුමක් සිතව් ද? ඵලෙය්‍ය රජුගේ පිරිවර වූ ඒ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකී, ගන්ධබ්බ, අග්ගිවෙස්ස ආදීහු කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තන්ට වඩා නුවණැත්තෝ වෙත් ද, කරුණු වටහා ගන්නවුන් අතුරෙහි වඩාත් කරුණු වටහා ගන්නෝ වෙත් ද?’

‘එසේ ය භවත, ඵලෙය්‍ය රජුගේ පිරිවර වූ ඒ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකී, ගන්ධබ්බ, අග්ගිවෙස්ස ආදීහු කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තන්ට වඩා නුවණැත්තෝ වෙති. කරුණු වටහා ගන්නවුන් අතුරෙහි වඩාත් කරුණු වටහා ගන්නෝ වෙති.’

‘භවත්නි, යම් කරුණකින් රාමපුත්ත ශ්‍රමණ තෙමේ ඵලෙය්‍ය රජුගේ පිරිවරට වඩා කළ යුතු වූ ත්, අතිරේක ව කළ යුතු වූ ත් දේ පිළිබඳ ව ත්, කිව යුතු වූ ත්, වැඩියෙන් කිව යුතු වූ දේ පිළිබඳ ව ත් නුවණැත්තෙකුට ත් වඩා නුවණැත්තෙක් වෙයි ද, කරුණු වටහා ගන්නවුන් අතුරෙහි වඩාත් කරුණු වටහා ගන්නෙක් වෙයි ද, එනිසා ය ඵලෙය්‍ය රජ පිරිවර ශ්‍රමණ රාමපුත්තයන් හට පැහැදුණේ. ශ්‍රමණ රාමපුත්‍රයන් කෙරෙහි මෙබඳු වූ වන්දනා කිරීම්, නැගිටීම්, ඇඳිලි බැඳීම්, මිහිරි තෙපුල් පැවසීම් ආදිය පරම ගෞරවාකාරයක් දක්වන්නේ.’

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය ය! භවත් ගෞතමයන් වහන්ස, අද්භූත ය! භවත් ගෞතමයන් වහන්සේ විසින් කොතරම් සුභාෂිතයක් වදාරණ ලද්දේ ද. ‘බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, අසත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ නොවන දෙයකි. වන්නට අවකාශ නැති දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් සත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයක්’ ය, එමෙන් ම ‘බ්‍රාහ්මණය, සත්පුරුෂයෙක් යම් අසත්පුරුෂයෙකු පිළිබඳ ව ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි දන්නේ ය යන කරුණ වන දෙයක්’ ය යන කරුණ යි.

භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් දැන් අපි යන්නෙමු. අපි බොහෝ කටයුතු ඇති, කළ යුතු බොහෝ දෑ ඇති උදවිය නෙව.”

“බ්‍රාහ්මණය, දැන් යමකට කාලය යැයි ඔබ දන්නේ නම් ඒ කාලය යි.”

එකල්හී මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වී සතුටින් පිළිගෙන හුනස්නෙන් නැගිට පිටත් ව ගියේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය වස්සකාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M