අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.4. ජාණුස්සෝණි සුත්තං

4.4.4.4. ජාණුස්සෝණි බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

එකල්හී ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මම් මෙබඳු වූ දෙයක් පවසන, මෙබඳු වූ දෘෂ්ටිගතිකයෙක්මි. එනම් ‘මැරෙන ස්වභාවයෙන් යුතු යමෙක් සිටියි ද, හේ මරණයට භය නොවන්නේ ය, මරණය ඉදිරියෙහි සන්ත්‍රාසයට පත් නොවන්නේ ය යන කරුණ නැත’ යනුවෙනි.”

“බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවයෙන් යුතු යමෙක් සිටියි ද, හේ මරණයට භය වන්නේ ය, මරණය ඉදිරියෙහි සන්ත්‍රාසයට පත් වන්නේ ය යන මෙබඳු වූ කෙනෙක් ද ඇත. එමෙන් ම බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවයෙන් යුතු යමෙක් සිටියි ද, හේ මරණයට භය නොවන්නේ ය, මරණය ඉදිරියෙහි සන්ත්‍රාසයට පත් නොවන්නේ ය යන මෙබඳු වූ කෙනෙක් ද ඇත.

බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවයෙන් යුතුව සිට බිය වන්නා වූ, මරණය අභියස සන්ත්‍රාසයට පත්වන්නා වූ පුද්ගලයා කවරෙක් ද?

බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් කාමයන්හි රාගය දුරු නොකළේ වෙයි. කැමැත්ත දුරු නොකළේ වෙයි. ප්‍රේමය දුරු නොකළේ වෙයි. පිපාසය දුරු නොකළේ වෙයි. දාහය දුරු නොකළේ වෙයි. තෘෂ්ණාව දුරු නොකළේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ප්‍රිය වූ කාමයෝ මා ව අත්හැර දමන්නාහු ය. මම් ද ප්‍රිය වූ කාමයන් අත්හරින්නෙමි’ යි. හේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. සිහි මුළාවට පත් වෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය වෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් වෙයි නම් ඒ මොහු ය.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් තම ශරීරයෙහි රාගය දුරු නොකළේ වෙයි. කැමැත්ත දුරු නොකළේ වෙයි. ප්‍රේමය දුරු නොකළේ වෙයි. පිපාසය දුරු නොකළේ වෙයි. දාහය දුරු නොකළේ වෙයි. තෘෂ්ණාව දුරු නොකළේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ප්‍රිය වූ ශරීරය මා ව අත්හැර දමන්නේ ය. මම් ද ප්‍රිය වූ ශරීරය අත්හරින්නෙමි’ යි. හේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. සිහි මුළාවට පත් වෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය වෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් වෙයි නම් මොහු ත් එබන්දෙකි.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් පින් නොකළේ වෙයි. කුසල් නොකළේ වෙයි. බියට රැකවරණයක් සළසා නොගත්තේ වෙයි. පව් කළේ වෙයි. දරුණු පව් කළේ වෙයි. කිලිටි පව් කළේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ මවිසින් පිනක් නොකරන ලද්දේ ය. කුසලයක් නොකරන ලද්දේ ය. බියට රැකවරණයක් නොකරන ලද්දේ ය. පව් කරන ලද්දේ ය. දරුණු පව් කරන ලද්දේ ය. කිලිටි පව් කරන ලද්දේ ය. භවත්නි, පින් නොකළ, කුසල් නොකළ, බියට රැකවරණ නොකළ, පව් කළ, දරුණු පව් කළ, කිලිටි පව් කළ උදවියට නියමිත යම් ගතියක් වෙයි නම්, මරණයෙන් පසු මම ඒ ගතිය කරා යන්නෙමි’ යි. හේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. සිහි මුළාවට පත් වෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය වෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් වෙයි නම් මොහු ත් එබන්දෙකි.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් සැක ඇත්තේ වෙයි. විකිචිච්ඡා ඇත්තේ වෙයි. සද්ධර්මය පිළිබඳ ව නිෂ්ඨාවට නොගියේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! මම සැක සහිත කෙනෙක්මි. විචිකිච්ඡා ඇති කෙනෙක්මි. සද්ධර්මයේ නිෂ්ඨාවට නොපැමිණියෙමි’ යි. හේ ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. සිහි මුළාවට පත් වෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය වෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් වෙයි නම් මොහු ත් එබන්දෙකි.

බ්‍රාහ්මණය, මේ පුද්ගලයෝ සතර දෙනා මැරෙන ස්වභාවයෙන් යුතුව සිට බිය වන්නෝ ය. මරණය අභියස සන්ත්‍රාසයට පත්වන්නෝ ය.

බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවයෙන් යුතුව සිට බිය නොවන්නා වූ, මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවන්නා වූ පුද්ගලයා කවරෙක් ද?

බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් කාමයන්හි රාගය දුරු කළේ වෙයි. කැමැත්ත දුරු කළේ වෙයි. ප්‍රේමය දුරු කළේ වෙයි. පිපාසය දුරු කළේ වෙයි. දාහය දුරු කළේ වෙයි. තෘෂ්ණාව දුරු කළේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ නොසිතෙයි. ‘අහෝ! ප්‍රිය වූ කාමයෝ මා ව අත්හැර දමන්නාහු ය. මම් ද ප්‍රිය වූ කාමයන් අත්හරින්නෙමි’ යි. හේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. සිහි මුළාවට පත් නොවෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය නොවෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවෙයි නම් ඒ මොහු ය.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් තම ශරීරයෙහි රාගය දුරු කළේ වෙයි. කැමැත්ත දුරු කළේ වෙයි. ප්‍රේමය දුරු කළේ වෙයි. පිපාසය දුරු කළේ වෙයි. දාහය දුරු කළේ වෙයි. තෘෂ්ණාව දුරු කළේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ නොසිතෙයි. ‘අහෝ! ප්‍රිය වූ ශරීරය මාව අත්හැර දමන්නේ ය. මම් ද ප්‍රිය වූ ශරීරය අත්හරින්නෙමි’ යි. හේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. සිහි මුළාවට පත් නොවෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය නොවෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවෙයි නම් මොහු ත් එබන්දෙකි.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් පව් නොකළේ වෙයි. දරුණු පව් නොකළේ වෙයි. කිලිටි පව් නොකළේ වෙයි. පින් කළේ වෙයි. කුසල් කළේ වෙයි. බියට රැකවරණයක් සළසා ගත්තේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘ඒකාන්තයෙන් මවිසින් පව් නොකරන ලද්දේ ය. දරුණු පව් නොකරන ලද්දේ ය. කිලිටි පව් නොකරන ලද්දේ ය. පිනක් කරන ලද්දේ ය. කුසලයක් කරන ලද්දේ ය. බියට රැකවරණයක් කරන ලද්දේ ය. භවත්නි, පව් නොකළ, දරුණු පව් නොකළ, කිලිටි පව් නොකළ, පින් කළ, කුසල් කළ, බියට රැකවරණ කළ, උදවියට නියමිත යම් ගතියක් වෙයි නම්, මරණයෙන් පසු මම ඒ ගතිය කරා යන්නෙමි’ යි. හේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. සිහි මුළාවට පත් නොවෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය නොවෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවෙයි නම් මොහු ත් එබන්දෙකි.

තව ද බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් සැක නැත්තේ වෙයි. විකිචිච්ඡා නැත්තේ වෙයි. සද්ධර්මය පිළිබඳ ව නිෂ්ඨාවට ගියේ වෙයි. ඔහු එක්තරා දරුණු රෝගයකින් පහස ලැබුවේ වෙයි. දරුණු රෝගයක් වැළඳුණු ඔහුට මෙසේ සිතෙයි. ‘ඒකාන්තයෙන් ම මම සැක රහිත කෙනෙක්මි. විචිකිච්ඡා නැති කෙනෙක්මි. සද්ධර්මයේ නිෂ්ඨාවට පැමිණියෙමි’ යි. හේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. සිහි මුළාවට පත් නොවෙයි. බ්‍රාහ්මණය, මැරෙන ස්වභාවය ඇති ව සිට මරණයට බිය නොවෙයි නම්, මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවෙයි නම් මොහු ත් එබන්දෙකි.

බ්‍රාහ්මණය, මේ පුද්ගලයෝ සතර දෙනා මැරෙන ස්වභාවයෙන් යුතුව සිට බිය නොවන්නෝ ය. මරණය අභියස සන්ත්‍රාසයට පත් නොවන්නෝ ය.”

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!

ජාණුස්සෝණි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M