අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.3. වස්සකාර සුත්තං

4.4.4.3. වස්සකාර බ්‍රහ්මණයාට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හී මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මම් මෙබඳු දෙයක් පවසන, මෙබඳු දෘෂ්ටිගතිකයෙක් වෙමි. යමෙක් කිසිවක් දැක ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය. යමෙක් කිසිවක් අසා ‘මා විසින් මෙසේ අසන ලද්දේ යැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය. යමෙක් කිසිවක් ආඝ්‍රාණය කොට ‘මා විසින් මෙසේ ආඝ්‍රාණය කරන ලදැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය. යමෙක් කිසිවක් රස විඳ ‘මා විසින් මෙසේ විඳින ලදැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය. යමෙක් කිසිවක් ස්පර්ශ කොට ‘මා විසින් මෙසේ ස්පර්ශ කරන ලදැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය. යමෙක් කිසිවක් මනසින් දැන ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි පවසන්නේ නම් එහි දොසක් නැත්තේ ය.”

“බ්‍රාහ්මණය, මම දැක්ක සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම දැක්ක සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි. බ්‍රාහ්මණය, මම ඇසූ සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම ඇසූ සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි. බ්‍රාහ්මණය, මම ආඝ්‍රාණය කළ සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම ආඝ්‍රාණය කළ සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි. බ්‍රාහ්මණය, මම රස විඳි සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම රස විඳි සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි. බ්‍රාහ්මණය, මම පහස ලද සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම පහස ලද සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි. බ්‍රාහ්මණය, මම සිතෙන් දැනගත් සියළු දෙය ම කිව යුතු යැයි නොකියමි. බ්‍රාහ්මණය, මම සිතෙන් දැනගත් සියළු දෙය ම නොකිව යුතු යැයි ද නොකියමි.

බ්‍රාහ්මණය, දකින ලද යමක් කියන විට අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ දකින ලද දෙය නොකිව යුතු යැයි කියමි. බ්‍රාහ්මණය, දකින ලද යමක් කියන විට කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ දකින ලද දෙය කිව යුතු යැයි කියමි.

බ්‍රාහ්මණය, අසන ලද යමක් කියන විට අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ අසන ලද දෙය නොකිව යුතු යැයි කියමි. බ්‍රාහ්මණය, අසන ලද යමක් කියන විට කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ අසන ලද දෙය කිව යුතු යැයි කියමි.

බ්‍රාහ්මණය, ආඝ්‍රාණය කරන ලද ….(පෙ)…. රස විඳින ලද ….(පෙ)…. පහස ලබන ලද යමක් කියන විට අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ පහස ලබන ලද දෙය නොකිව යුතු යැයි කියමි. බ්‍රාහ්මණය, පහස ලබන ලද යමක් කියන විට කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ පහස ලබන ලද දෙය කිව යුතු යැයි කියමි.

බ්‍රාහ්මණය, සිතින් සිතන ලද යමක් කියන විට අකුසල් දහම් වැඩී යයි නම්, කුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ සිතින් සිතන ලද දෙය නොකිව යුතු යැයි කියමි. බ්‍රාහ්මණය, සිතින් සිතන ලද යමක් කියන විට කුසල් දහම් වැඩී යයි නම්, අකුසල් දහම් පිරිහී යයි නම් මේ අයුරු වූ සිතින් සිතන ලද දෙය කිව යුතු යැයි කියමි.”

එකල්හී මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන හුනස්නෙන් නැගිට ගියේ ය.

සාදු! සාදු!! සාදු!!!

වස්සකාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M