එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූටයෙහි වැඩවසන සේක. එකල්හී බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ සප්පිනිකා නදී තෙර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරති. ඔවුන් කවරහුද යත්, අන්නභාර ය, වරධර ය, සකුළුදායී පරිබ්‍රාජක ය. අන්‍ය වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ එහි වෙසෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට සප්පිනිකා නදී තෙර පරිබ්‍රාජක ආරාමය කරා වැඩිසේක.
එසමයෙහි ඒ රැස් ව සිටි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මෙබඳු කථාවක් හටගත්තේ ය. ‘මෙසේ ත් බ්‍රාහ්මණ සත්‍යයයෝ වෙති. මෙසේ ත් බ්‍රාහ්මණ සත්‍යයයෝ වෙති’ යනුවෙනි. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයන් වෙත වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිවැජියන්ට මෙය වදාළ සේක.
“පරිබ්‍රාජකයෙනි, දැන් ඔබ කවර කථාවෙකින් යුතුව රැස් ව හුන්නාහු ද? ඔබගේ කවර වූ කථාවක් අඩාල වූයේ ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි රැස් ව සිටි අප අතර මෙම කථාව හටගත්තේ ය. එනම් ‘මෙසේ ත් බ්‍රාහ්මණ සත්‍යයයෝ වෙති. මෙසේ ත් බ්‍රාහ්මණ සත්‍යයයෝ වෙති’ යනුවෙනි.”
“පරිබ්‍රාජකයෙනි, මා විසින් ස්වකීය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට පවසන ලද මේ බ්‍රාහ්මණ සත්‍යයයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. පරිබ්‍රාජකයෙනි, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මෙසේ පවසයි. ‘සියළු ප්‍රාණීහු වඳ නැත්තෝ ය’ යනුවෙනි. මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක් කියයි. බොරුවක් නොකියයි. හේ ඒ සත්‍යය පැවසීමෙන් ‘මම ශ්‍රමණයෙක්මි’ කියා නොහඟියි. ‘මම බ්‍රාහ්මණයෙක්මි’ කියා නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ කියා නොහඟියි. ‘මම සමාන වෙමි’ කියා නොහඟියි. ‘මම හීන වෙමි’ කියා නොහඟියි. වැලිදු යම් වූ සත්‍යයක් ඇද්ද, එය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රාණීන් කෙරෙහි දයාව පිණිස ම, අනුකම්පාව පිණිස ම පිළිපන්නේ වෙයි.
2. පරිබ්‍රාජකයෙනි, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මෙසේ පවසයි. ‘සියළු කාමයෝ අනිත්‍යයහ. දුක්යහ. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයහ’ යනුවෙනි. මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක් කියයි. බොරුවක් නොකියයි. හේ ඒ සත්‍යය පැවසීමෙන් ‘මම ශ්‍රමණයෙක්මි’ කියා නොහඟියි. ‘මම බ්‍රාහ්මණයෙක්මි’ කියා නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ කියා නොහඟියි. ‘මම සමාන වෙමි’ කියා නොහඟියි. ‘මම හීන වෙමි’ කියා නොහඟියි. වැලිදු යම් වූ සත්‍යයක් ඇද්ද, එය විශිෂ්ට ඥානයෙන් දැන ඒ කාමයන්ගේ ම එපා වීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
3. පරිබ්‍රාජකයෙනි, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මෙසේ පවසයි. ‘සියළු භවයෝ අනිත්‍යයහ. දුක්යහ. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයහ’ යනුවෙනි. මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක් කියයි. බොරුවක් නොකියයි. හේ ඒ සත්‍යය පැවසීමෙන් ‘මම ශ්‍රමණයෙක්මි’ කියා නොහඟියි. ‘මම බ්‍රාහ්මණයෙක්මි’ කියා නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ කියා නොහඟියි. ‘මම සමාන වෙමි’ කියා නොහඟියි. ‘මම හීන වෙමි’ කියා නොහඟියි. වැලිදු යම් වූ සත්‍යයක් ඇද්ද, එය විශිෂ්ට ඥානයෙන් දැන ඒ භවයන්ගේ ම එපා වීම පිණිස, නොඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
4. පරිබ්‍රාජකයෙනි, මෙහිලා බ්‍රාහ්මණ තෙමේ මෙසේ පවසයි. ‘කිසි තැනක මම කියා දෙයක් නැත. කිසිවක්හුගේ කිසිවක් කෙරෙහි එබඳු දෙයක් නොදකිමි. මාගේ ආත්මය කියා දෙයක් නොදකිමි. අනුන්ගේ ආත්මය කියා දෙයක් ද නොදකිමි’ යනුවෙනි. මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක් කියයි. බොරුවක් නොකියයි. හේ ඒ සත්‍යය පැවසීමෙන් ‘මම ශ්‍රමණයෙක්මි’ කියා නොහඟියි. ‘මම බ්‍රාහ්මණයෙක්මි’ කියා නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ කියා නොහඟියි. ‘මම සමාන වෙමි’ කියා නොහඟියි. ‘මම හීන වෙමි’ කියා නොහඟියි. වැලිදු යම් වූ සත්‍යයක් ඇද්ද, එය විශිෂ්ට ඥානයෙන් දැන කිසිවක් නැති බව අවබෝධය පිණිස පිළිපන්නේ වෙයි.
පරිබ්‍රාජකයෙනි, මා විසින් ස්වකීය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට පවසන ලද බ්‍රාහ්මණ සත්‍යයයෝ සතර මේවා ය.”
සාදු! සාදු!! සාදු!!!
චතුකෝටික සුඤ්ඤතා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M