එකල්හී ආයුෂ්මත් උපවානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපවානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය වදාළහ.
“කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විද්‍යාවෙන් දුක් අවසන් කිරීම වන්නේ ද?” “ආයුෂ්මත, මෙය නොවන්නකි.”
“කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ ද?” “ආයුෂ්මත, මෙය නොවන්නකි.”
“කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විද්‍යාවෙන් හා චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ ද?” “ආයුෂ්මත, මෙය නොවන්නකි.”
“කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විද්‍යාවෙන් දුක් අවසන් කිරීම වන්නේ දැයි ඇසූ කල්හී ‘ආයුෂ්මත, මෙය නොවන්නකි’ යි කීවෙහි ය. ‘කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ දැ’ යි ඇසූ කල්හී ‘ආයුෂ්මත, මෙය නොවන්නකි’ යි කීවෙහි ය. ‘කිම, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විද්‍යාවෙන් හා චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ දැ’ යි ඇසූ කල්හී ‘ආයුෂ්මත, මෙය නොවන්නකි’ යි කීවෙහි ය. ආයුෂ්මත, කෙසේ නම් දුක් අවසන් කිරීම වන්නේ ද?”
“ආයුෂ්මත, ඉදින් විද්‍යාවෙන් දුක් අවසන් කිරීම වන්නේ නම්, උපාදාන සහිත වූයේ ම දුක් අවසන් කරන්නේ වෙයි. ආයුෂ්මත, ඉදින් චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ නම්, උපාදාන සහිත වූයේ ම දුක් අවසන් කරන්නේ වෙයි. ආයුෂ්මත, ඉදින් විද්‍යාවෙන් හා චරණයෙන් දුක් අවසන් කිරීම වන්නේ නම්, උපාදාන සහිත වූයේ ම දුක් අවසන් කරන්නේ වෙයි. ආයුෂ්මත, විද්‍යාවෙන් හා චරණයෙන් තොර ව දුක් අවසන් කිරීම වන්නේ නම් පෘථග්ජනයා දුක් අවසන් කරන්නේ වෙයි. ආයුෂ්මත, පෘථග්ජනයා වනාහී විද්‍යා චරණ දෙකෙන් තොර වූවෙකි. ආයුෂ්මත, චරණය නැති කල්හී ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ ය, නොදක්නේ ය. චරණයෙන් යුතු තැනැත්තා ම ඇත්ත ඇති සැටියෙන් දන්නේ ය, දක්නේ ය. ඇත්ත ඇති සැටියෙන් දැනීමෙන්, දැකීමෙන් දුක් අවසන් කරන්නේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
උපවාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M