අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.3.4. ආනන්ද සුත්තං

4.4.3.4. ආනන්ද තෙරුන් වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේට මෙය වදාළහ.

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ද?”

“ආයුෂ්මත, එසේ නොපවසනු මැනැව.”

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි නොවන්නේ ද?”

“ආයුෂ්මත, එසේ නොපවසනු මැනැව.”

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ද? නොවන්නේ ද?”

“ආයුෂ්මත, එසේ නොපවසනු මැනැව.”

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ත් නැද්ද? නොවන්නේ ත් නැද්ද?”

“ආයුෂ්මත, එසේ නොපවසනු මැනැව.”

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ දැයි ඇසූ කල්හී ‘ආයුෂ්මත, එසේ නොපවසනු මැනැවැ’ යි කීවෙහි ය. ‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි නොවන්නේ දැ’ යි ඇසූ කල්හී ‘ආයුෂ්මත, එසේ නොපවසනු මැනැවැ’යි කීවෙහි ය. ‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ද? නොවන්නේ දැ’යි ඇසූ කල්හී ‘ආයුෂ්මත, එසේ නොපවසනු මැනැවැ’යි කීවෙහි ය. ‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ත් නැද්ද? නොවන්නේ ත් නැද්දැ’යි ඇසූ කල්හී ‘ආයුෂ්මත, එසේ නොපවසනු මැනැවැ’ යි කීවෙහි ය. ආයුෂ්මත, මේ පැවසූ කරුණෙහි අර්ථය දැනගත යුත්තේ කෙසේ ද?”

“ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ දැ’යි ඔය අයුරින් පැවසීම කෙලෙස් නොහැදෙන දෙයක් ගැන කෙලෙස් සහිත විමසීමකි.

‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි නොවන්නේ දැ’ යි ඔය අයුරින් පැවසීම කෙලෙස් නොහැදෙන දෙයක් ගැන කෙලෙස් සහිත විමසීමකි.

‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ද? නොවන්නේ දැ’යි ඔය අයුරින් පැවසීම කෙලෙස් නොහැදෙන දෙයක් ගැන කෙලෙස් සහිත විමසීමකි.

‘ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් පසු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ ත් නැද්ද? නොවන්නේ ත් නැද්දැ’යි ඔය අයුරින් පැවසීම කෙලෙස් නොහැදෙන දෙයක් ගැන කෙලෙස් සහිත විමසීමකි.

ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය යම්තාක් ඇද්ද, ඒ තාක් කෙලෙස් සහිත විමසීමේ ක්‍රියාකාරීත්වය ඇත. යම්තාක් කෙලෙස් සහිත විමසීමේ ක්‍රියාකාරීත්වයක් ඇද්ද, ඒ තාක් සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය ඇත. ආයුෂ්මත, සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ ඉතිරි නැති ව නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, එය කෙලෙස් සහිත විමසීම නිරුද්ධ වීම යි. කෙලෙස් සහිත විමසීම නිරුද්ධ වීමෙන් කෙලෙස් සහිත විමසීම සංසිඳී යයි.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M