මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.
1. මහණෙනි, දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කය පිළිබඳ ව අසුභය නුවණින් දකිමින් වාසය කරයි. ආහාරය පිළිබඳ ව පිළිකුල් හැඟීම ඇත්තේ වෙයි. සියළු ලෝකය පිළිබඳ ව නොඇළුණු හැඟීම ඇත්තේ වෙයි. සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ වෙයි. ඔහුගේ සිතෙහි මරණය පිළිබඳ හැඟීම මැනැවින් පිහිටියේ වෙයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඇති වන්නේ මෘදු වශයෙනි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් මෘදු වශයෙන් හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට පැමිණෙන්නේ සෙමින් ය. මහණෙනි, මෙය දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.
2. මහණෙනි, දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කය පිළිබඳ ව අසුභය නුවණින් දකිමින් වාසය කරයි. ආහාරය පිළිබඳ ව පිළිකුල් හැඟීම ඇත්තේ වෙයි. සියළු ලෝකය පිළිබඳ ව නොඇළුණු හැඟීම ඇත්තේ වෙයි. සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ වෙයි. ඔහුගේ සිතෙහි මරණය පිළිබඳ හැඟීම මැනැවින් පිහිටියේ වෙයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඉතා බලවත් අයුරින් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් ඉතා බලවත් ව හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට වේගයෙන් පැමිණෙන්නේ වෙයි. මහණෙනි, මෙය දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.
3. මහණෙනි, සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඇති වන්නේ මෘදු වශයෙනි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් මෘදු වශයෙන් හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට පැමිණෙන්නේ සෙමින් ය. මහණෙනි, මෙය සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.
4. මහණෙනි, සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඉතා බලවත් අයුරින් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් ඉතා බලවත් ව හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට වේගයෙන් පැමිණෙන්නේ වෙයි. මහණෙනි, මෙය සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය පටිපදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M