අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.2.4. චතුත්ථ පටිපදා සුත්තං

4.4.2.4. ප්‍රතිපදාව ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

නොඉවසීම නම් වූ අක්ඛමා ප්‍රතිපදාව ය. ඉවසීම නම් වූ ඛමා ප්‍රතිපදාව ය. ඉන්ද්‍රිය දමනය නම් වූ දමා ප්‍රතිපදාව ය. අකුසල විතර්ක සංසිඳුවීම නම් වූ සමා ප්‍රතිපදාව ය.

1. මහණෙනි, නොඉවසීම නම් වූ අක්ඛමා ප්‍රතිපදාව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන විට පෙරලා ආක්‍රෝශ කරයි. ගැටෙන්නහු සමඟ පෙරලා ගැටෙයි. පහර දෙන්නහුට පෙරලා පහර දෙයි. මහණෙනි, මෙය නොඉවසීමේ ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

2. මහණෙනි, ඉවසීම නම් වූ ඛමා ප්‍රතිපදාව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන විට පෙරලා ආක්‍රෝශ නොකරයි. ගැටෙන්නහු සමඟ පෙරලා නොගැටෙයි. පහර දෙන්නහුට පෙරලා පහර නොදෙයි. මහණෙනි, මෙය ඉවසීමේ ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

3. මහණෙනි, ඉන්ද්‍රිය දමනය නම් වූ දමා ප්‍රතිපදාව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් හෙයකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වසන කල්හී රාග, ද්වේෂ ආදී ලාමක අකුසල් දහම් ඒ භික්ෂුව පසුපස හඹා එයි ද, එය සංවර කිරීම පිණිස පිළිපදින්නේ වෙයි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් හෙයකින් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වසන කල්හී රාග, ද්වේෂ ආදී ලාමක අකුසල් දහම් ඒ භික්ෂුව පසුපස හඹා එයි ද, එය සංවර කිරීම පිණිස පිළිපදින්නේ වෙයි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙය ඉන්ද්‍රිය දමනයෙන් යුතු ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

4. මහණෙනි, අකුසල විතර්ක සංසිඳුවීම නම් වූ සමා ප්‍රතිපදාව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. සංසිඳුවයි. නැති කරයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාද විතර්කය ….(පෙ)…. උපන් විහිංසා විතර්කය ….(පෙ)…. උපනූපන් පාපී අකුසල විතර්කයන් නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. සංසිඳුවයි. නැති කරයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මෙය අකුසල විතර්කයන් සංසිඳුවීමෙන් යුතු ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/4-4-2-4-චතුත්ථ-පටිපදා-සුත්තං/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M