අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.2.2. දුතිය පටිපදා සුත්තං

4.4.2.2. ප්‍රතිපදාව ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.

1. මහණෙනි, දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් ස්වභාවයෙන් ම තියුණු රාග ඇත්තේ වෙයි. නිරන්තරයෙන් රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු ද්වේෂ ඇත්තේ වෙයි. නිරන්තරයෙන් ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු මෝහ ඇත්තේ වෙයි. නිරන්තරයෙන් මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඇති වන්නේ මෘදු වශයෙනි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් මෘදු වශයෙන් හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට පැමිණෙන්නේ සෙමින් ය. මහණෙනි, මෙය දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.

2. මහණෙනි, දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් ස්වභාවයෙන් ම තියුණු රාග ඇත්තේ වෙයි. නිරන්තරයෙන් රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු ද්වේෂ ඇත්තේ වෙයි. නිරන්තරයෙන් ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු මෝහ ඇත්තේ වෙයි. නිරන්තරයෙන් මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ වෙයි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඉතා බලවත් අයුරින් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් ඉතා බලවත් ව හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට වේගයෙන් පැමිණෙන්නේ වෙයි. මහණෙනි, මෙය දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.

3. මහණෙනි, සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් ස්වභාවයෙන් ම තියුණු රාග ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් රාගයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු ද්වේෂ ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු මෝහ ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳින්නේ නොවෙයි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඇති වන්නේ මෘදු වශයෙනි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් මෘදු වශයෙන් හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට පැමිණෙන්නේ සෙමින් ය. මහණෙනි, මෙය සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.

4. මහණෙනි, සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් ස්වභාවයෙන් ම තියුණු රාග ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් රාගයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු ද්වේෂ ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳින්නේ වෙයි. ස්වභාවයෙන් ම තියුණු මෝහ ඇත්තේ නොවෙයි. නිරන්තරයෙන් මෝහයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳින්නේ වෙයි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් ඉතා බලවත් අයුරින් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය යි. හේ මේ පංච ඉන්ද්‍රියයන් ඉතා බලවත් ව හටගත් බැවින් ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස මාර්ගඵලාවබෝධයට වේගයෙන් පැමිණෙන්නේ වෙයි. මහණෙනි, මෙය සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M