අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.9. භික්ඛුණී සුත්තං

4.4.1.9. භික්ෂුණියට වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී එක්තරා භික්ෂුණියක් එක්තරා පුරුෂයෙකු ඇමතුවා ය. “එම්බා පුරුෂය, ඔබ මෙහි එව. ආර්ය වූ ආනන්දයන් වහන්සේ යම් තැනක සිටිත් නම් එතැනට ගොස් මාගේ වචනයෙන් ආර්ය වූ ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනී, අසවල් නම් ඇති භික්ෂුණිය හටගත් ආබාධ ඇත්තී, දුක් ඇත්තී, බොහෝ සේ ගිලන් වූවා ය. ඕ ආර්ය වූ ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි’ යනුවෙනි. එසේ ම මෙසේ ත් පවසව. ‘ස්වාමීනී, ආර්ය වූ ආනන්දයන් වහන්සේ යම් මෙහෙණවරක ඒ භික්ෂුණිය සිටින්නී ද, අනුකම්පාව උපදවා එහි වඩිනා සේක් නම් මැනැවැ’යි.”

“එසේය ආර්යාවෙනි” යි ඒ පුරුෂයා අර භික්ෂුණියට පිළිවදන් දී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට ගොස් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, අසවල් නම් ඇති භික්ෂුණිය හටගත් ආබාධ ඇත්තී, දුක් ඇත්තී, බොහෝ සේ ගිලන් වූවා ය. ඕ ආර්ය වූ ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි’ යනුවෙනි. එසේ ම මෙසේ ත් කියයි. ‘ස්වාමීනී, ආර්ය වූ ආනන්දයන් වහන්සේ යම් මෙහෙණවරක ඒ භික්ෂුණිය සිටින්නී ද, අනුකම්පාව උපදවා එහි වඩිනා සේක් නම් මැනැවැ” යි.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නිහඬ භාවයෙන් එය පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය ද, සිවුර ද ගෙන මෙහෙණවර කරා වැඩියහ. ඒ භික්ෂුණිය දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ව දැක හිස පටන් පොරොවාගෙන ඇඳෙහි වැතිර හොත්තා ය. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුණිය වෙත වැඩියහ. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන්හ. වැඩහුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුණියට මෙය වදාළහ.

“සොයුරිය, මේ කය ආහාරයෙන් හටගත්තකි. ආහාරය ඇසුරු කොට ආහාරය ප්‍රහාණය කළ යුත්තේ ය.

සොයුරිය, මේ කය තෘෂ්ණාවෙන් හටගත්තකි. තෘෂ්ණාව ඇසුරු කොට තෘෂ්ණාව ප්‍රහාණය කළ යුත්තේ ය.

සොයුරිය, මේ කය මාන්නයෙන් හටගත්තකි. මාන්නය ඇසුරු කොට මාන්නය ප්‍රහාණය කළ යුත්තේ ය.

සොයුරිය, මේ කය මෛථුන සේවනය හේතුවෙන් හටගත්තකි. මෛථුන සේවනයට හේතු වූ කරුණ නැසීම පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.

1 ‘සොයුරිය, මේ කය ආහාරයෙන් හටගත්තකි. ආහාරය ඇසුරු කොට ආහාරය ප්‍රහාණය කළ යුත්තේ ය’ යි මෙකරුණ කියන ලද්දේ ය. මෙය කියන ලද්දේ කුමක් උදෙසා ද? සොයුරිය, මෙහිලා භික්ෂුව නුවණින් සළකා ආහාර වළඳන්නේ වෙයි. ජවය පිණිස ද නොවෙයි. මත් වීම පිණිස ද නොවෙයි. සැරසීම පිණිස ද නොවෙයි. ශරීරය අලංකාරය පිණිස ද නොවෙයි. හුදෙක් මේ කයෙහි පැවැත්ම පිණිස ය. වෙහෙස නැසීම පිණිස ය. බඹසරට අනුග්‍රහ පිණිස ය. මෙසේ පැරණි වේදනා නැති කරමි. අලුත් වේදනාවන් නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය. නිවැරදි බව ත්, පහසු විහරණය ත් වන්නේ ය වශයෙනි. හේ පසු කාලයක ආහාරය ඇසුරු කොට ආහාරය අත්හරියි. සොයුරිය, මේ කය ආහාරයෙන් හටගත්තකි. ආහාරය ඇසුරු කොට ආහාරය ප්‍රහාණය කළ යුත්තේ යැයි යම් කරුණක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මේ අරුත සඳහා ය.

2. ‘සොයුරිය, මේ කය තෘෂ්ණාවෙන් හටගත්තකි. තෘෂ්ණාව ඇසුරු කොට තෘෂ්ණාව ප්‍රහාණය කළ යුත්තේ ය’ යි මෙකරුණ කියන ලද්දේ ය. මෙය කියන ලද්දේ කුමක් උදෙසා ද? සොයුරිය, මෙහිලා භික්ෂුව අසවල් නම් ඇති භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ යැයි අසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අනේ, මම් කවරදාක නම් ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සාක්ෂාත් කොට පැමිණ වසන්නෙම් දැ’යි. හේ පසු කාලයක ඒ තෘෂ්ණාව ඇසුරු කොට තෘෂ්ණාව අත්හරියි. සොයුරිය, මේ කය තෘෂ්ණාවෙන් හටගත්තකි. තෘෂ්ණාව ඇසුරු කොට තෘෂ්ණාව ප්‍රහාණය කළ යුත්තේ යැයි යම් කරුණක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මේ අරුත සඳහා ය.

3. ‘සොයුරිය, මේ කය මාන්නයෙන් හටගත්තකි. මාන්නය ඇසුරු කොට මාන්නය ප්‍රහාණය කළ යුත්තේ ය’ යි මෙකරුණ කියන ලද්දේ ය. මෙය කියන ලද්දේ කුමක් උදෙසා ද? සොයුරිය, මෙහිලා භික්ෂුව අසවල් නම් ඇති භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ යැයි අසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘ඒ ආයුෂ්මත් තෙමේ ත් ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ නම්, කිම? එය මට බැරි වූ දෙයක් දැ’යි. හේ පසු කාලයක ඒ මාන්නය ඇසුරු කොට මාන්නය අත්හරියි. සොයුරිය, මේ කය මාන්නයෙන් හටගත්තකි. මාන්නය ඇසුරු කොට මාන්නය ප්‍රහාණය කළ යුත්තේ යැයි යම් කරුණක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මේ අරුත සඳහා ය.

4. සොයුරිය, මේ කය මෛථුන සේවනය හේතුවෙන් හටගත්තකි. මෛථුන සේවනයට හේතු වූ කරුණ නැසීම පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.

එකල්හී ඒ භික්ෂුණිය ඇඳෙන් නැගිට සිවුර ඒකාංශ කොට පොරොවා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ පා අභියස සිරසින් වැටී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවා ය. “ස්වාමීනී, යම් බඳු මම් මෙවැන්නක් කළෙම් ද, යම් බඳු අඥාන කමක් ඇද්ද, යම් බඳු මුලාවක් ඇද්ද, යම් බඳු අකුසලයක් ඇද්ද ඒ වරද මා යට කරගෙන ගියේ ය. ස්වාමීනී, ආර්ය වූ ආනන්දයන් වහන්සේ මාගේ ඒ වරද, මත්තෙහි සංවර වීම පිණිස වරදක් වශයෙන් පිළිගන්නා සේක්වා!”

“සොයුරිය, යම් බඳු ඔබ මෙවැන්නක් කළා ද, යම් බඳු අඥාන කමක් ඇද්ද, යම් බඳු මුලාවක් ඇද්ද, යම් බඳු අකුසලයක් ඇද්ද ඒ වරද ඔබ යට කරගෙන ගියේ ය. සොයුරිය, ඔබ ඒ වරද, මත්තෙහි සංවර වීම පිණිස වරදක් වශයෙන් දැක ධර්මානුකූලව වූ ප්‍රතිකර්ම කරන්නී ද අපි ඔබගේ ඒ වරද පිළිගනිමු. සොයුරිය, යම් වරදක් වරද වශයෙන් දැක ධර්මානුකූලව ප්‍රතිකර්ම කරයි ද, මත්තෙහි සංවර භාවයට පැමිණෙයි ද, මෙය ආර්ය විනයෙහි දියුණුවක් ම ය.”

සාදු! සාදු!! සාදු!!!

භික්ඛුනී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M